slc
logo
Home   |    News
ජූලි 16, 2026
ඩ්‍රෝන් 500ක සංදර්ශනයක් සමඟින් ලංකා ප්‍රිමියර් ලීග් හයවැන්න තවත් හෝරා කීපයකින්

sinhala editor

තවත් හෝරා 24කටත් අඩු කාලයකින් ආරම්භ වීමට නියමිත 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සියලු සූදානම් අවසන් කර ඇති බව තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අයි. පී. ජී. සමුහය සමග එක්ව 6 වැනි වතාවටත් පවත්වනු ලබන මෙම තරගාවලිය හෙට (17 දා) ප.ව. 6.00 සිට පැවැත්වෙනු ඇත.

තරගාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, මේ වන විට අවසන් මොහොතේ සිදුකරන සුළු කටයුතු කිහිපයක් පමණක් ඉතිරිව ඇති බවත්, මෙවර ප්‍රේක්ෂකයන්ට මතක හිටින ආකාරයේ සාර්ථක තරගාවලියක් පවත්වනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි.

“අපි සියලු කටයුතු සූදානම් කරලා ඉවරයි. දැන් තියෙන්නේ අවසන් මොහොතේ කරන පොඩි පොඩි වැඩ ටිකක් විතරයි. හොඳ තරගාවලියක් පවත්වන්න අපිට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා“, යැයි දොඩන්වෙල මහතා පැවසීය.

මෙවර සමාරම්භක දිනය ‘සැණකෙළිමය‘ අත්දැකීමක් බවට පත් කිරීමට සංවිධායකයන් සැලසුම් කර තිබේ. ප්‍රේක්ෂකයන් සඳහා ක්‍රීඩාංගණයේ සියලු දොරටු පස්වරු 5.00ට විවෘත කෙරෙන අතර, සමාරම්භක උත්සවය පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

සමාරම්භක උත්සවයේදී තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් පහේ ක්‍රීඩකයන් පාසල් දරුවන්ගේ සහ නාද්‍රෝ බෙර වාදන කණ්ඩායමේ සංගීතය මධ්‍යයේ ක්‍රීඩාංගණයට පිවිසෙන ආකර්ෂණීය පෙළපාළියකින් උත්සවය ආරම්භ වේ. අනතුරුව ජාතික ගීය ගායනා කිරීම, සංඛ දිනෙත් සහ යොහානිගේ සංගීත ප්‍රසංග, නර්තන අංග රැසක් සහ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් ද සමාරම්භක උත්සවයට එක්කර තිබේ.

එමෙන්ම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල සහ කණ්ඩායම් නායකයන්ගේ සහභාගීත්වයෙන් LPL කුසලානය නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙවර සමාරම්භක උත්සවයේ ප්‍රධානතම ආකර්ෂණ දනවන ක්‍රියාකාරකම වන්නේ රාත්‍රී 7.00ට පැවැත්වෙන ඩ්‍රෝන් සංදර්ශනයයි. ඩ්‍රෝන් 500ක් යොදාගනිමින් අහසේ නිර්මාණය කෙරෙන මෙම සංදර්ශනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්, LPL සහ අනුග්‍රාහක ආයතනවල සංකේත මෙන්ම විවිධ සජීවී චලන රූප පෙළක් ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත. පළමු ඉනිමේ විවේකයේදී ලේසර් ආලෝක සංදර්ශනයක් ද පැවැත්වීමට සංවිධායකයන් සැලසුම් කර තිබේ.

“අපිට ඕන වුණේ ක්‍රිකට් තරගයක් විතරක් නොවෙයි. පවුලේ හැමෝටම ඇවිල්ලා විඳින්න පුළුවන් සැණකෙළි අත්දැකීමක් ලබාදෙන්නයි. ඒ නිසා ආකර්ෂණීය සමාරම්භක උත්සවයක්, ඩ්‍රෝන් ෂෝ එකක්, ලේසර් ෂෝ එකක් වගේ විශේෂාංග රැසක් සූදානම් කරලා තියෙනවා. ඒ සියල්ල නරඹන්න සහ හොඳ ක්‍රිකට් තරගයක් රසවිඳින්න හෙට සවස 5.00ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයට පැමිණෙන්න කියලා මම සියලුම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා“, යැයි දොඩන්වෙල මහතා පැවසීය.

ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් රාජකාරියේ යොදවා ඇති බවයි. එමෙන්ම වාහන නැවැත්වීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ සලසා ඇති අතර, එස්.එස්.සී. පරිශ්‍රය, අවට සමාජ ශාලා සහ ඉන්ඩිපෙන්ඩන්ස් චතුරස්‍රය ආශ්‍රිතව ද වාහන නැවැත්වීමේ පහසුකම් සූදානම් කර තිබේ. පොදු ප්‍රවාහන පහසුකම් ද ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක වන බැවින් ප්‍රේක්ෂකයන්ට අපහසුවකින් තොරව ක්‍රීඩාංගණයට පැමිණිය හැකි බව ඔහු සඳහන් කළේය.

“අපි මේ පාර වෙනස් තීරණයක් ගත්තා. සාමාන්‍යයෙන් අවසන් තරගයේදී වැඩි උත්සවශ්‍රීයක් දකින්න ලැබුණත්, මෙවර තරගාවලිය ආරම්භයේදීම ඒ සැණකෙළි වටපිටාව නිර්මාණය කරන්න අපි කටයුතු කළා. හොඳ ආරම්භයක් හොඳ තරගාවලියකට පදනමක් වේවි කියලා අපි විශ්වාස කරනවා“, යැයි දොඩන්වෙල මහතා වැඩිදුරටත් පැවසීය.

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය වසරේ ශූරයන් වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් අතර පස්වරු 7.45ට ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර පැවැත්වෙන සමාරම්භක උත්සවය මෙවර LPL ඉතිහාසයේ වඩාත්ම දැවැන්ත හා දර්ශනීය සමාරම්භක සැමරුමක් වනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කරයි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee