slc
logo
Home   |    News
අගෝස්තු 26, 2026
පසිඳු සූරියබණ්ඩාරට පිට පිටම දෙවැනි වරටත් ශතකය අහිමි වෙයි

sinhala editor

සිය මංගල ටෙස්ට් තරගයේදී පිට පිටම දෙවැනි වරටත් ශතකයක් සොයා ගිය පසිඳු සූරියබණ්ඩාරට යළිත් වරක් ශතකයේ සීමාව පසුකර යාමට වාසනාව ඉඩ නොදුන්නේය. ඉන්දියාවට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (26) පසිඳු ලකුණු 92කට දැවී ගියේ, සිය මංගල ටෙස්ට් තරගයේදීම පිට පිට දෙවැනි වරටත් ශතකය පෙනෙන මානයට පැමිණ එය අහිමි කර ගනිමිනි. පසිඳුගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම යළිත් අසීරු තත්ත්වයකට ඇද වැටුණු අතර, සිව්වැනි දිනය අවසන් වන විට ඉන්දියාවට එරෙහිව තරගය බේරා ගැනීමේ අභියෝගයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටියේය.

කෙසේ වෙතත්, සිව්වැනි දිනයේදී පසිඳු සූරියබණ්ඩාර සහ කමිඳු මෙන්ඩිස් එක්ව ගොඩනැගූ ලකුණු 115ක සබඳතාව ශ්‍රී ලංකාවට තරගයේ යම් බලාපොරොත්තුවක් ගෙන ආවේය. එම සබඳතාව හේතුවෙන් ඉන්දියාව ලබාගෙන තිබූ විශාල ලකුණු පරතරය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ නමුත්, කමිඳු, ධනංජය, පසිඳු සහ දික්වැල්ල ලකුණු 51 ක් ඇතළත දැවී යාමත් සමඟ තරගයේ වාසිය නැවතත් ඉන්දියාව දෙසට හැරුණි.

දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමේදී ඉන්දියාවට වඩා ලකුණු 39ක් පසුපසින් සිටි අතර, කඩුලු දෙකක් පමණක් අතැතිව තිබුණි. ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව පසුකරමින් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමේ අවධානමෙන් මිදීමට තිබූ අවස්ථාව එම කඩුලු දෙක සමඟම අහිමි වූ අතර, අවසානයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට සීමා විය. ඒ අනුව ඉන්දියාවට වඩා ලකුණු 213ක් පසුපසින් සිටි ශ්‍රී ලංකාවට ඉන්දීය නායක ශුබ්මන් ගිල්ගේ තීරණය අනුව පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමට සිදු විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී සෝනල් දිනූෂ නැවතත් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. සර්ෂන් ජේන්ගේ පන්දුවකට කුුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගිය බවට පිටියේ විනිසුරු තීරණය කළ අවස්ථාවේදී තෙවැනි විනිසුරුගේ සහාය ලබාගත් දිනූෂ එම තීරණයෙන් බේරුණේ පන්දුව කඩුල්ලේ ඉහළින් ගමන් කරන බව තහවුරු වීමත් සමඟය. අනතුරුව හයේ පහරකින් සහ හතරේ පහරකින් ඉනිම ශක්තිමත් කළ ඔහු, ප්‍රසිද් ක්‍රිෂ්ණාට එරෙහිව තවත් හතරේ පහරක් එල්ල කරමින් ශතකය සම්පූර්ණ කළේය.

කෙසේ වෙතත්, දිනූෂ ශතකය ලබාගැනීමෙන් අනතුරුව ලහිරු කුමාර දැවී ගිය අතර, ඉන් අනතුරුව දිනූෂගේ කඩුල්ලද සර්ෂන් ජේන් විසින් දවාගැනීමත් සමඟ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට අවසන් විය. ඉන්දියාව වෙනුවෙන් ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 52කට කඩුලු 3ක් දවාගත් අතර, මානව් සුතර්ද කඩුලු 3ක් ලබා ගත්තේය.

දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට මුල් අවස්ථාවේදීම ලහිරු උදාරගේ කඩුල්ල අහිමි වූයේ මොහොමඩ් සිරාජ්ගේ පන්දුවකට ඔහු දැවී යාමත් සමඟය. ඉන් අනතුරුව කමිල් මිශාර සහ පසිඳු සූරියබණ්ඩාර එක්ව ඉනිම ගොඩනැගීමට උත්සාහ කළ අතර, ලකුණු 32ක් ලබා සිටි මිශාර රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගියේය.

එතැන් සිට පසිඳු සමඟ එක් වූ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් එක් කළේය. දෙදෙනා ඉන්දියානු පන්දු යවන්නන්ට එරෙහිව ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් ලකුණු පුවරුව වේගයෙන් ඉදිරියට ගෙන ගියහ. පසිඳු අර්ධ ශතකය පසුකර යද්දී කමිඳුද මෙම තරගාවලියේ සිය පළමු අර්ධ ශතකය වාර්තා කළේය.

කෙටි පන්දුවලට සාර්ථකව මුහුණ දෙමින් සිටි කමිඳු මෙන්ඩිස්, ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ කෙටි පන්දුවකට පහරක් එල්ල කිරීමට ගිය අවස්ථාවේදී ශුබ්මන් ගිල් විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමත් සමඟ දැවී ගියේය. ඒ වන විට පසිඳු සහ කමිඳු එක්ව ලකුණු 115ක අගනා සබඳතාවක් ගොඩනගා තිබූ අතර, ශ්‍රී ලංකාවේ ලකුණු පරතරයද ලකුණු 50 දක්වා අඩු වී තිබුණි.

කමිඳුගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාද මානව් සුතර්ගේ පන්දුවකට දැවී ගියේය. මෙම තරගාවලියේ ඉනිම් හතරේදීම ධනංජයගේ කඩුල්ල දවාගැනීමට සුතර් සමත් වීමද විශේෂත්වයකි.

අනතුරුව සිය කණ්ඩායම තවදුරටත් ඉදිරියට ගෙන යාමේ වගකීම කරට ගෙන සිටි පසිඳු සූරියබණ්ඩාරටද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි විය. සූරියබණ්ඩාර ලකුණු 92කට දැවී ගියේ පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද ශතකය පෙනෙන මානයට පැමිණ එය අහිමි කර ගනිමිනි. මංගල ටෙස්ට් තරගයකදී පිට පිටම ඉනිම් දෙකකදී ලකුණු 80 සීමාව පසු කළද, ශතකයක් බවට එය පරිවර්තනය කර ගැනීමට පසිඳුට නොහැකි වීම මහත් අවාසනාවක් විය.

පසිඳු දැවී යාමෙන් අනතුරුව නිරෝෂන් දික්වැල්ලද සර්ෂන් ජේන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගියේය. ඒ සමඟ ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 209ක් ලබා සිටි තත්ත්වයේ සිට කඩුලු 6කට ලකුණු 218ක් දක්වා ඉතා කෙටි කාලයක් තුළ ඇද වැටුණි.

අනතුරුව සෝනල් දිනූෂ සහ කේෂර නුවන්ත එක්ව ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් රැක ගැනීමට උත්සාහ කළහ. ඔවුන් පන්දු 66කට මුහුණ දෙමින් ඉන්දියානු පන්දු යවන්නන්ට එරෙහිව ධෛර්යවන්තව පිති හසුරුවමින් සිටියදී වර්ෂාව තරගයට බාධා කළේය.

ඒ අනුව පස්වරු 4.37ට සිව්වැනි දින ක්‍රීඩාව නතර කිරීමට සිදු වූ අතර, ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු 6කට ලකුණු 226 ක් ලබා සිටියි. ඉන්දියාවට වඩා ලකුණු 16කින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර, තවත් කඩුලු හතරක් පමණක් අතැතිව තිබේ. ඉන්දියාවට දෙවැනි නව පන්දුව ලබාගැනීමට තවත් පන්දුවාර 7.2ක් පමණක් ඉතිරිව ඇති බැවින්, හෙට තරගයේ අවසන් දිනය ශ්‍රී ලංකාවට තීරණාත්මක මෙන්ම දැඩි අභියෝගාත්මක දිනයක් වනු ඇත.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 138 කදී කඩුලු 9 ට ඉනිම අත්හිටුවන විට ලකුණ 503 යි –

(දේව්දත් පඩික්කාල් 117, ශුබ්මන් ගිල් 50, රවීන්ද්‍ර ජඩේජා 43, යශස්වි ජයිස්වාල් 45, කේ.එල්. රාහුල් 18, රිෂාබ් පාන්ට් 63, රවීන්ද්‍ර ජඩේජා 43, ධෘෘව් ජුරෙල් 115*, සාරාන්ෂ් ජේන් 06,මානව් සුතර් 18, මොහොමඩ් සිරාජ් 03, ප්‍රසිද් ක්‍රිෂ්ණා 04*, අසිත ප්‍රනාන්දු 106/4, ප්‍රභාත් ජයසූිය 132/2, කේෂර නුවන්ත 154/2, ළහිරු කුමාර 68/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 89.4 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි –

(ළහිරු උදාර 01, කමිල් මිශාර 19, ප්‍රභාත් ජයසූරිය 02, පසිඳු සූරියබණ්ඩාර 80, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 08, සොනාල් දිනූෂ 103, නිරෝෂන් දික්වැල්ල 00, කේෂර නුවන්ත 18, ළහිරු කුමාර 12, අසිත ප්‍රනාන්දු 01*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 52/3, මානව් සුතාර් 85/3, රවීන්ද්‍ර ජඩේජා 45/1, මොහොමඩ් සිරාජ් 33/1, සරන්ස් ජේන් 69/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 72.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 229 යි –

(පසිඳු සූරියබණ්ඩාර 92, කමිල් මිශාර 32, ළහිරු උදාර 03, කමිඳු මෙන්ඩිස් 55, ධනංජය ද සිල්වා 23, සොනාල් දිනූෂ 07*, නිරෝෂන් දික්වැල්ල 06, කේෂර නුවන්ත 02*, මානව් සුතර් 81/2, ප්‍රසිද් ක්‍රිෂ්ණා 31/1, මොහොමඩ් සිරාජ් 11/1, සර්න්ෂ් ජේන් 55/1, රවීන්ද්‍ර ජඩේජා 48/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee