ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අවශ්‍ය දක්ෂතා සහිත ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ විය.
තරගාවලියේ ආරම්භක තරග අනුරාධපුරයේදී පැවැති අතර, එහිදී කොළඹ දකුණ සහ ගාල්ල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් තරගාවලිය සාර්ථකව ආරම්භ කළහ. මෙම තරගාවලිය හරහා ඉදිරි වසරවල ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කිරීමට හැකි දක්ෂතා සහිත ක්‍රීඩකයින් හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙයි.
කොළඹ දකුණට කඩුලු 4ක ජයක්
කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර පැවැති තරගයේදී ලකුණු 256ක ඉලක්කයක් හඹා ගිය කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 46.4කදී කඩුලු 6ක් දැවී ලකුණු 258ක් ලබා ගනිමින් කඩුලු 4ක ජයක් වාර්තා කළේය.
ජයග්‍රාහී හඹා යෑමේදී මෙතුක ගුණරත්න සහ මියුර බණ්ඩාර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 76කදී ලකුණු 92ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ. මෙතුක ගුණරත්න ලකුණු 57ක් සහ මියුර බණ්ඩාර ලකුණු 38ක් රැස් කළ අතර, රෙෂාන් සොලමන්ස් ලකුණු 63ක් ලබා ගනිමින් ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
කොළඹ දකුණ කණ්ඩායමට තරගයේ ජයග්‍රාහී ලකුණ 47 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී වාර්තා කිරීමට හැකි වූ අතර, එම අවස්ථාව වන විට ඔවුන්ට තවත් කඩුලු 4ක් අතැතිව තිබිණි.
පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 49.3කදී කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස් කළේය. එහිදී තිසංග පෙරේරා ලකුණු 84ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර, අකීද් ඔසේන් ලකුණු 56ක් සහ අදීෂ ලක්ෂාන් ලකුණු 46ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී අදීෂ ලක්ෂාන් ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත් අතර, මහිරු කොඩිතුවක්කු සහ ගංගන් ගමගේ කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
ගාල්ලට ලකුණු 66ක ජයක්
මේ අතර ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර පැවැති තරගයේදී ගාල්ල කණ්ඩායම ලකුණු 66ක ජයක් වාර්තා කළේය.
පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 47.4කදී සියලු දෙනා දැවී ලකුණු 310ක් රැස් කළේය. එහිදී සඳරු මල්ෂාන් ලකුණු 97ක් ලබා ශතකය පෙනෙන මානයේදී දැවී ගිය අතර, ලසිර ලකිඳු ලකුණු 86ක් රැස් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත විය. ගෙසඳු බිසස් ලකුණු 34ක්ද ලබා ගත්තේය.
ගාල්ල ඉනිමට එරෙහිව පන්දු යැවීමේදී චනුල් කොඩිතුවක්කු ලකුණු 65කට කඩුලු 3ක් දවාගත් අතර, ගෝපිරාජ් සංතෝෂ් සහ සනිතු ගුණතිලක කඩුලු 2 බැගින් දවා ගත්හ.
ලකුණු 311ක ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමට පන්දුවාර 44.2කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 235ක් පමණි. සනිතු ගුණතිලක ලකුණු 56ක් සහ සිසිල් හේමක ලකුණු 51ක් රැස් කළද, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
ගාල්ල කණ්ඩායමේ රවීන් සචින්ත ලකුණු 45කට කඩුලු 3ක් දවාගත් අතර, තියෝන් හේලික සහ චෙනුල් මිනලක කඩුලු 2 බැගින් දවා ගනිමින් ගාල්ලේ ජයග්‍රහණය තහවුරු කළහ.
මෙම තරගාවලිය ඉදිරියේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත් විය හැකි දක්ෂතා සහිත ක්‍රීඩකයින් හඳුනා ගැනීම සඳහා වැදගත් වේදිකාවක් වන අතර, තරුණ ක්‍රීඩකයින්ට තරගකාරී මට්ටමේ අත්දැකීම් ලබාගැනීමටද මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.
කොළඹ දකුණට කඩුලු 4ක ජයක්
කොළඹ උතුර – කඩුලු 9ක් දැවී ලකුණු 255 (පන්දුවාර 49.3): තිසංග පෙරේරා 84, අකීද් ඔසේන් 56, හෆීස් ජුන්කීර් 29, ෂෙනෝන් සිල්වා 28; අදීෂ ලක්ෂාන් 46/4, මහිරු කොඩිතුවක්කු 43/2, ගංගන් ගමගේ 47/2.
කොළඹ දකුණ – කඩුලු 6ක් දැවී ලකුණු 258 (පන්දුවාර 46.4): රෙෂාන් සොලමන්ස් 63, මෙතුක ගුණරත්න 57, මියුර බණ්ඩාර 38, ස්ටීවොන් පීරිස් 28, දුෂේන් උඩවෙල 25, මහිරු කොඩිතුවක්කු නොදැවී 24; අකීද් ඔසේන් 36/2.
ගාල්ලට ලකුණු 66ක ජයක්
ගාල්ල – සියලු දෙනා දැවී ලකුණු 310 (පන්දුවාර 47.4): සඳරු මල්ෂාන් 97, ලසිර ලකිඳු 86, ගෙසඳු බිසස් 34, ලිනුවර සත්විඳු 18; චනුල් කොඩිතුවක්කු 65/3, ගෝපිරාජ් සංතෝෂ් 44/2, සනිතු ගුණතිලක 47/2.
මහනුවර – සියලු දෙනා දැවී ලකුණු 235 (පන්දුවාර 44.2): සනිතු ගුණතිලක 56, සිසිල් හේමක 51, ශෂිත් බණ්ඩාර 28, චනුත් ජයසිංහආරච්චි 27, සවිත විතානගේ 16; රවීන් සචින්ත 45/3, තියෝන් හේලික 43/2, චෙනුල් මිනලක 41/2



