ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන ප්රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ මංගල ශතකය වාර්තා කිරීමට එන්.සී.සී. කණ්ඩායමේ කවීන් බණ්ඩාර අද (16) සමත් වූයේ බදුරලිය ක්රීඩා සමාජයට එරෙහි තරගයේදී නොදැවී ලකුණු 103ක් රැස් කරමිනි.
පන්දු 54කට මුහුණ දුන් කවීන් සිය ඉනිම හතරේ පහර 7කින් සහ දැවැන්ත හයේ පහර 8කින් වර්ණවත් කළ අතර, එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ මංගල ශතකය ද විය. ඔහුගේ ප්රවේගකාරී පිතිහරඹය හේතුවෙන් එන්.සී.සී. කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 2කට ලකුණු 232ක ලකුණු සංඛ්යාවක් ගොඩනැගීමට හැකි විය.
කවීන්ට අනගි සහයක් ලබාදුන් සහන් ආරච්චිගේ පන්දු 27කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 61ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66කදී නොදැවී ලකුණු 152ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීම මෙම ඉනිමේ විශේෂත්වයක් විය.
ලකුණු 233ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බදුරලිය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 138ක් පමණි. ඒ අනුව එන්.සී.සී. කණ්ඩායම ලකුණු 94ක පහසු ජයක් වාර්තා කළේය. එහිදී කවිඳු පතිරත්න ලකුණු 23කට කඩුලු 3ක් දවාගනිමින් පන්දුවෙන් කැපී පෙනුණි.
මේ අතර තරගාවලියේ ඊයේ පැවැති තරගවලදී තවත් පිතිකරුවන් කිහිපදෙනකුද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. සී.සී.සී. කණ්ඩායමේ දුල්නිත් සිගේරා ලකුණු 61ක්ද, ටැමිල් යූනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන ලකුණු 63ක්ද, බ්ලූම්ෆීල්ඩ් ක්රිකට් සහ මලල ක්රීඩා සමාජයේ රවිඳු ප්රනාන්දු ලකුණු 58ක්ද රැස් කළහ.
ආර්. ප්රේමදාස ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති තරගයේදී ටැමිල් යූනියන් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්යාය මත සී.සී.සී. කණ්ඩායම ලකුණු 24කින් පරාජය කළේය. සී.සී.සී. කණ්ඩායම කඩුලු 7කට ලකුණු 139ක් රැස් කළ අතර, ටැමිල් යූනියන් කණ්ඩායම පන්දුවාර 11.5කදී කඩුලු 2කට ලකුණු 108ක් රැස් කරමින් ජයග්රහණය තහවුරු කළේය.
පොලිස් උද්යාන ක්රීඩාංගණයේ පැවැති තරගයේදී ඒස් කැපිටල් ක්රිකට් සමාජය කඩුලු 7කින් කොල්ට්ස් ක්රිකට් සමාජය පරාජය කළේය. පළමුව පන්දුවට පහර දුන් කොල්ට්ස් කණ්ඩායම ලකුණු 56කට දැවී ගිය අතර, ඒස් කැපිටල් කණ්ඩායම පන්දුවාර 9.2කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 60ක් රැස් කළේය.
මග්ගොන සරේ ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති තරගයේදී මුවර්ස් ක්රීඩා සමාජය කඩුලු 8කින් කුරුණෑගල යූත් ක්රිකට් සමාජය පරාජය කළ අතර එම ක්රීඩාංගණයේදීම පැවැති බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර ක්රීඩා සමාජ අතර තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්යාය මත පානදුර කණ්ඩායම කඩුලු 4කින් ජය ගත්තේය. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම කඩුලු 8කට ලකුණු 180ක් රැස් කළ අතර, රවිඳු ප්රනාන්දු ලකුණු 58ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ පානදුර කණ්ඩායම පන්දුවාර 9.3කදී කඩුලු 6කට ලකුණු 110ක් ලබා ගනිමින් ජය තහවුරු කළේය.
ටැමිල් යූනියන් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්යාය මත ලකුණු 24ක ජයක්.
- සී.සී.සී. – කඩුලු 7ක් දැවී 139 (18.0): දුල්නිත් සිගේරා 61, පවන් රත්නායක 22, අශේන් බණ්ඩාර 21; ලහිරු සමරකෝන් 26/3, විජයකාන්ත් වියස්කාන්ත් 25/2
- ටැමිල් යූනියන් – කඩුලු 2ක් දැවී 108 (11.5): නවෝද් පරණවිතාන 63, සිනෙත් ජයවර්ධන 26.
ඒස් කැපිටල් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
- කොල්ට්ස් – සියලුදෙනා දැවී 56 (15.1): රචින්ත ද සිල්වා 12/3, ට්රවීන් මැතිව් 09/3, වනුජ සහන් 11/2
- ඒස් කැපිටල් – කඩුලු 3ක් දැවී 60 (9.2): කෞෂික කුමාරසිංහ 17, රනේෂ් සිල්වා නොදැවී 14; මුදිත ලක්ෂාන් 21/2
මුවර්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්
- කුරුණෑගල යූත් – කඩුලු 9ක් දැවී 143 (20.0): අමේෂ් තෙන්නකෝන් නොදැවී 44, ගයන වීරසිංහ 37; සංතුශ් ලියනගේ 27/2, ශිරාන් ප්රනාන්දු 30/2, මල්ෂ තරුපති 11/2
- මුවර්ස් – කඩුලු 2ක් දැවී 144 (17.3): සොහාන් ද ලිවේරා 49, ජනිශ්ක පෙරේරා නොදැවී 32, සිතාර ගිම්හාන් නොදැවී 24.
පානදුර කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්යාය මත කඩුලු 4ක ජයක්
- බ්ලූම්ෆීල්ඩ් – කඩුලු 8ක් දැවී 180 (20.0): රවිඳු ප්රනාන්දු 58, චමරිඳු නෙත්සර 33, දුලාජ් සමුදිත 28; කලන පෙරේරා 37/3, නවිඳු ප්රභාෂ් 32/2, ගිමඳු මැල්කම් 42/2
- පානදුර – කඩුලු 6ක් දැවී 110 (9.3): ශාලිත් ප්රනාන්දු නොදැවී 49, තවීෂ අභිශේක් 27; සුපුන් කාවින්ද 12/3
එන්.සී.සී. කණ්ඩායමට ලකුණු 94ක ජයක්
- එන්.සී.සී. – කඩුලු 2ක් දැවී 232 (20.0): කවීන් බණ්ඩාර නොදැවී 103, සහන් ආරච්චිගේ නොදැවී 61, ජීවක සශින් 32.
- බදුරලිය – කඩුලු 7ක් දැවී 138 (20.0): අවීෂ සමාශ් 39, යශෝධ ලංකා 26, අලංකාර අසංක නොදැවී 21; කවිඳු පතිරත්න 23/3





