slc
logo
Home   |    News
අගෝස්තු 18, 2026
ධනංජය–දිනූෂ ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් එක් කරති

sinhala editor

ඉන්දියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (18 දා) තරගය නිමා කරන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 288ක් අවශ්‍යව තිබුණි. ඉන්දියාව දෙවැනි ඉනිමේදී ලකුණු 193කට දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා සිටියේය.

සිව්වැනි දින අවසානයේ ධනංජය ද සිල්වා සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 37ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමට සමත් වූහ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී කණ්ඩායමක් හඹා ගොස් ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ කඩුලු 6කට ලකුණු 344කි. 2022 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී පාකිස්තානය එම ලකුණු සංඛ්‍යාව හඹා ගොස් ජයගැනීමට සමත් විය. එබැවින් මෙවර තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙම ලකුණු 372 ක ඉලක්කය සාර්ථකව හඹා ගොස් ජයගත හැකි වුවහොත්, ගාල්ල ක්‍රීඩාංගණයේදී සිව්වැනි ඉනිමේදී හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ නව වාර්තාවක්ද පිහිටුවීමට හැකි වනු ඇත.

ලකුණු 372ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නිශාන් මධුෂ්ක සහ ළහිරු උදාරට ඉන්දීය වේග පන්දු යවන්නන්ගෙන් ආරම්භයේදීම එල්ල වූයේ දැඩි පීඩනයකි. මොහොමඩ් සිරාජ්ගේ පන්දුවකට ෆයින් ලෙග්හි පන්දු රැකි ප්‍රසිද් ක්‍රිෂ්ණා වෙත උඩපන්දුවක් ලබාදුන් මධුෂ්ක ලකුණු 06 කට දැවී ගියේය.

මේ අතර පන්දු රකිමින් සිටියදී හිසට සහ උරහිසට සිදුවූ ආබාධයක් හේතුවෙන් දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත්වීමෙන් පසු ඔහු වෙනුවට කොන්කෂන් ආදේශකයකු ලෙස පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය. එහෙත් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට මානව් සුතාර් සමත්වූවේය. කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූයේ යැයි සිදුකරන ලද ඉල්ලීමේදී එය නොදැවී යෑමක් ලෙස සටහන් වුවද, එම තීරණය අභියෝගයකට ලක් කිරීමේදී පසිඳු දැවී ගිය පිතිකරුවකු ලෙස තෙවැනි විනිසුරු සඳහන් කර සිටියේය. ඒ අනුව තම මංගල ඉනිමම එක් පන්දුවකට පමණක් සීමා කර ගැනීමට නවක පිතිකරුවාට සිදුවිය.

ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ පන්දුවකට කමිඳු මෙන්ඩිස්ද දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාව ලකුණු 21කට කඩුලු 3ක් අහිමි කර ගත්තේය. ඉන් නොනැවතුණු ඉන්දීය පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් පීඩනයට ලක් කළහ. මනව් සුතාර්ගේ පන්දුවකට ගලි ප්‍රදේශයේදී ධෘව් ජුරෙල් රැකගත් අසීරු පහළ උඩපන්දුවකින් ළහිරු උදාරද දැවී ගියේය. උඩපන්දුව සම්බන්ධයෙන් තෙවැනි විනිසුරුගේ පරීක්ෂාවෙන් අනතුරුව එය නිවැරදි උඩපන්දුවක් බව තහවුරු කෙරිණි.

ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 47කට කඩුලු 4ක් අහිමි කරගනිමින් දැඩි අසීරුතාවකට පත්විය.

කෙසේ වෙතත්, එම අසීරු අවස්ථාවේදී ධනංජය ද සිල්වා සහ සොනාල් දිනූෂ වගකීම කරට ගනිමින් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූහ. ඉන්දීය පන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනය සාර්ථකව මැඩපවත්වමින් දෙදෙනාම දිනය අවසන් වන තෙක් කඩුල්ල ආරක්ෂා කරගත්හ.

ඒ අනුව ධනංජය සහ දිනූෂ නොදැවී ලකුණු 37ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු තවදුරටත් රැකගැනීමට සමත් වූහ. අවසන් දිනයේදී ශ්‍රී ලංකාවට තවක් කඩුලු 6 ක් ඇතුළතදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 288ක් අවශ්‍යව තිබේ.

ඉන්දියාව දෙවැනි ඉනිම ආරම්භ කළේ යශස්වි ජයිස්වාල් සහ කේ.එල්. රාහුල් සමඟිනි. එහෙත් දිනයේ තෙවැනි පන්දුවේදීම අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල ලබා දුන්නේය. පිටතට ඇදී ගිය හොඳ දිගක පන්දුවකට ජයිස්වාල් පහරක් එල්ල කිරීමට ගොස් කඩුලු රකින්නා වෙත ගිය ඇතුළත දාරයකින් දැවී ගියේ ලකුණු නොලබමිනි.

පළමු ඉනිමේ ශතකලාභී දේව්දත් පදික්කාල්, රාහුල් සමඟ එක්ව ලකුණු 65ක සබඳතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිම යළි ගොඩනැගීමට උත්සාහ කළේය. එම සබඳතාව බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය, පළමුව රාහුල් ලකුණු 35කට දවාගත් අතර අනතුරුව ඉන්දීය නායක ශුබ්මන් ගිල්ද කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කරගෙන ශ්‍රී ලංකාවට වැදගත් ආරම්භයක් ලබා දුන්නේය.

පඩික්කාල්ගේ ඉනිමද වැඩි වේලාවක් පවත්වාගැනීමට නොහැකි වූයේ කේෂර නුවන්තෙගේ පන්දුවකට ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවීමෙනි. එම කඩුල්ලත් සමඟින් තරගය දිවා ආහාරය සඳහා නතර කර දමන විට ඉන්දියාව කඩුලු 4 කට ලකුණු 116 ක් ලබා සිටියේය. දිගින් දිගටම පීඩනය වැඩි කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තවත් ලකුණුඅ 04 ක් ලකුණු පුවරුවට එකතුවන අතර වාරයේදී ධෘව් ජුරෙල්ගේ කඩුල්ලද දවා ගත්තේ ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 120 ක් වශයෙන් අසරණ කර දමමිනි.

අනතුරුව රිෂාබ් පාන්ට් සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹය දියත් කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. රවීන්ද්‍ර ජඩේජා සමඟ එක්ව ලකුණු 54ක සබඳතාවක් ගොඩනැගූ පාන්ට් පන්දු 44කින් ලකුණු 43ක් රැස් කළේය.

එම ඉනිම අතරතුර ඔහු සිය ටෙස්ට් දිවියේ 20 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, සිය 100 වැනි හයේ පහරද එල්ල කළේය. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එම සීමාව පසු කළ සිව්වැනි පිතිකරුවා මෙන්ම වේගවත්ම පිතිකරුවා බවටද පාන්ට් පත්විය.

කෙසේ වෙතත්, කෙටි පන්දු වැළක් යොමු කළ ළහිරු කුමාර පාන්ට් සහ ජඩේජා දෙදෙනාම දවා ගැනීමට සමත් විය. ජඩේජා දවා ගැනීමේදී පසිඳු සූරියබණ්ඩාර ස්කෙවෙයාර් ලෙග් ප්‍රදේශයේදී විශිෂ්ට උඩ පන්දුවක් රැක ගත්තේය.  ඉන්දියාව අවසන් කඩුලු පහ ලකුණු 19ක් තුළ අහිමි කරගනිමින් ලකුණු 193කට දැවී ගියේය. අසිත ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් දවාගත් අතර, ප්‍රභාත් ජයසූරිය ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තේය.

හෙට (19 වැනිදා) තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 116/4 කදී සියලුදෙනා දැවී ලකුණු 464 යි – (දෙව්දත් පඩික්කල් 167, ධෘව් ජුරෙල් 53, කේ.එල්. රාහුල් 81, රිෂාබ් පාන්ට් 39, යෂස්වි ජයිස්වාල් 32, ශුබ්මන් ගිල් 16, රවීන්ද්‍ර ජඩේජා 13, මානව් සුතර් 24, මොහොමඩ් ශිරාජ් 11, කුල්දීප් යාදව් 13*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 01, ප්‍රභාත් ජයසූරිය 109/4, කේෂර නුවන්ත 175/3, අසිත ප්‍රනාන්දු 63/2)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 79.4 කදී සියලු දෙනා දැවී ලකුණු 284 යි – (සොනාල් දිනූෂ 100, නිරෝෂන් දික්වැල්ල 80, ළහිරු උදාර 27, නිශාන් මදුෂ්ක 00, දිනේෂ් චන්දිමාල් 04 කමිඳු මෙන්ඩිස් 14, ධනංජය ද සිල්වා 21, කේෂර නුවන්ත 02, ප්‍රභාත් ජයසූරිය 10, ළහිරු කුමාර 10, අසිත ප්‍රනාන්දු 00*, මානව් සුතාර් 76/4, රවීන්ද්‍ර ජඩේජා 57/3, මොහොමඩ් සිරාජ් 29/1, ප්‍රසිද් ක්‍රිෂ්ණා 47/1, කුල්දීප් යාදව් 65/1)

ඉන්දියාව දෙවැනි ඉනිම පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 193 යි – (රිෂාබ් පාන්ට් 66, යශස්වි ජයිස්වාල් 00, කේ.එල්. රාහුල් 35, දෙව්දත් පඩික්කාල් 44, ශුබ්මන් ගිල් 08, ධෘව් ජුරෙල් 07, රවීන්ද්‍ර ජඩේජා 09, මානව් සුතර් 09, කුල්දීප් යාදව් 05, මොහොමඩ් සිරාජ් 02*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 02, අසිත ප්‍රනාන්දු 31/4, ප්‍රභාත් ජයසූරිය 43/3, ළහිරු කුමාර 28/2, කේශර නුවන්ත 86/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 34 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 84 යි – (සොනාල් දිනූෂ 25*, ධනංජය ද සිල්වා 31*, නිශාන් මදුශ්ක 06, ළහිරු උදාර 16, පසිඳු සූරියබණ්ඩාර 00, කමිඳු මෙන්ඩිස් 02, මානව් සුතර් 30/2, මොහොමඩ් සිරාජ් 11/1, ප්‍රසිද් ක්‍රිෂ්ණා 13/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee