slc
logo
Home   |    News
අගෝස්තු 5, 2026
වසරේ ක්‍රිකට් තරු අගැයෙන ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2025 හෙට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා ඇගයෙන “ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2025” (Dialog Sri Lanka Cricket Awards 2025) සම්මාන උළෙල හෙට (06) කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

2025 තරග වාරය තුළ ජාත්‍යන්තර සහ පළමු පෙළ ක්‍රිකට් පිටියේ දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතළිස් දෙදෙනකු (42) මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කෙරෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන උළෙලේ ප්‍රධානතම ගෞරව සම්මාන වන ‘වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා‘ සහ ‘වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව‘ යන සම්මාන ප්‍රදානයද එහි විශේෂත්වයකි.

මීට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් ඇගයෙන ‘දක්ෂතම පිතිකරු‘, ‘දක්ෂතම පන්දු යවන්නා‘, ‘දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා‘, ‘වසරේ නැගී එන ක්‍රීඩකයා‘ සහ ‘වසරේ නැගී එන ක්‍රීඩිකාව‘ යන සම්මානද ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේ “2025 තරග වාරය තුළ අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ විශිෂ්ට දක්ෂතා ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන උළෙල පැවැත්වීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙනවා. ඔවුන්ගේ කැපවීම, දක්ෂතාව සහ ජයග්‍රහණ ඇගයීමට මෙය සුදුසු අවස්ථාවක් බව අප විශ්වාස කරනවා” යනුවෙනි.

පළමු පෙළ ක්‍රිකට් දස්කම්වලටත් ඉහළ ඇගයීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් පමණක් නොව, මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දස්කම්ද මෙහිදී ඇගයීමට ලක් කෙරේ. ඒ අනුව ‘දක්ෂතම පිතිකරු, ‘දක්ෂතම ප න්දු යවන්නා‘, ‘දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා‘ සහ වටිනාම ක්‍රීඩකයා සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය.

එමෙන්ම අ‘න්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් ශූරතාව‘, අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලිය, අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින තරගාවලිය සහ අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය ජයගත් කණ්ඩායම්ද මෙම සම්මාන රාත්‍රියේදී විශේෂයෙන් ඇගයීමට ලක් කෙරේ.

විශිෂ්ඨත්වය අගය මින් සිව් දෙනෙකුට විශේෂ ගෞරව සම්මාන හතරක්

මෙවර සම්මාන උළෙලේ තවත් සුවිශේෂී අංගයක් වන්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩාව වෙනුවෙන් කරන ලද විශිෂ්ටතම සේවය අගයමින් ජීවිත කාලයටම එක් වරක් පමණක් පිරිනැමෙන විශේෂ ගෞරව සම්මානන හතරක් පිරිනැමීමයි. ක්‍රිකට් ක්ෂේත්‍රයට අතිවිශිෂ්ට සේවයක් කළ ක්‍රිකට් විශිෂ්ටයන් දෙදෙනෙකුට සහ ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රය හරහා ක්‍රිකට් ක්‍රීඩාවට අනර්ඝ දායකත්වයක් ලබාදුන් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට මෙම ගෞරව සම්මාන පිරිනැමෙනු ඇත.

වසරේ ක්‍රිකට් විනිසුරුටත් ඇගයීමක්

තරග විනිශ්චයකරණයේ විශිෂ්ටත්වය අගයමින් ‘වසරේ විනිසුරු (Umpire of the Year)‘ සම්මානයද මෙහිදී ප්‍රදානය කෙරෙන අතර, තරග නිලධාරීන් ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකරන අමිල සේවාවද ඒ හරහා ඇගයීමට ලක් කෙරේ.

මෙවර සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයන්, පරිපාලකයන්, තරග නිලධාරීන් සහ ආරාධිත සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.

ඩයලොග් ප්‍රධාන අනුග්‍රාහකත්වයට

මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සපයන්නෙකු වන ‘ඩයලොග් ආසියාටා පී.එල්.සී.‘ මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්ව ඇති අතර, ඒ අනුව මෙවර සම්මාන උළෙල “ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2025” නමින් පැවැත්වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee