slc
logo
Home   |    News
අගෝස්තු 25, 2026
සූරියබණ්ඩාර 80යි – දිනූෂ නොදැවී 85යි

sinhala editor

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අභියෝගාත්මක තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් එක් කරමින් කෝඩුකාර පසිඳු සූරියබණ්ඩාර ලකුණු 80ක් ලබාගත් අතර, සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් සටනේ රඳවා ගැනීමට සමත් විය.

කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (25) සවස වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී කඩුලු 8කට ලකුණු 265ක් ලබා සිටියේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 9කට ලකුණු 503ක් ලබාගත් බැවින්, ඉන්දීය ඉනිමට වඩා ලකුණු 304ක් පසුපසින් සිටින ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ අවදානමෙන් මිදීමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 39ක් පමණි.

තුන්වැනි දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් වූයේ කඩුලු 2කට ලකුණු 8ක් පමණි. ඒ අනුව, ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල වී තිබුණද, කෝඩුකාරයන් වන කමිල් මිෂාර සහ පසිඳු සූරියබණ්ඩාර එම පීඩනයට සාර්ථකව මුහුණ දෙමින් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළහ.

එහෙත් ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ පන්දුවක් අනපේක්ෂිත ලෙස ඉහළ නැඟ කමිල් මිෂාරගේ පිත්තේ දාරයේ ගැටීමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණි. ධූර්වි ජූරල් රැකගත් උඩපන්දුව හේතුවෙන් මිෂාරට ලකුණු 19 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ අතර, ඉන්දීය ඉනිමේදී ළහිරු කුමාරගේ පන්දු දෙවරක් වැදීමෙන් තුවාල ලබා සිටි රිෂාබ් පාන්ට් ශ්‍රී ලංකා ඉනිමේදී කඩුලු රැකීමෙන් ඉවත් වීමද දැකගත හැකි විය.

මිෂාරගේ දැවී යාමෙන් අනතුරුව කමිඳු මෙන්ඩිස් සමග එක්වූ සූරියබණ්ඩාර ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැගීය. දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක් එක් කළ අතර, සූරියබණ්ඩාර පන්දු 76කින් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු පහසුවක් ලබා නොදුන් සූරියබණ්ඩාර අලංකාර බැක් කට් සහ ඩ්‍රයිව් පහර රැසක් එල්ල කරමින් ඉනිම ගොඩනැගීය. ඔහු ලකුණු 80ක් ලබාගත්තේ හතරේ පහර 9ක් සමගිනි.

අනෙක් අන්තයේදී කමිඳු මෙන්ඩිස්ද ලකුණු 32ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිමට දායක වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය. කෙසේ වෙතත්, ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ කෙටි පන්දුවකට එල්ල කළ පුල් පහරක් මිඩ් විකට්හි සිටි රවීන්ද්‍ර ජදේජා අතට යාමත් සමග කමිඳුගේ ඉනිම නිමා විය.

ඉන් අනතුරුව නායක ධනංජය ද සිල්වාද ඉක්මනින් දැවී ගිය අතර, ශ්‍රී ලංකාව ලකුණු 15ක් ඇතුළත නායකයාත් උපනායකයාත් අහිමි කර ගත්තේය. එහෙත් සූරියබණ්ඩාර තනිවම සිය සටන ඉදිරියට ගෙන ගියේය.

පැය තුනකට අධික කාලයක් කඩුල්ලේ රැඳී සිටි ඔහු අවසානයේ රවීන්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 171ක්ව තිබියදීය. අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ලද ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට මොහොමඩ් සිරාජ් සමත්වූවේය.

සූරියබණ්ඩාරගේ දැවී යෑමත් දික්වැල්ලගේ දැවීයෑමත් සමඟම දරුණු අපහසුතාවයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් සොනාල් දිනූෂ පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ලකුණු පුවරුව ඉහළට ගෙන ගියේය. කේෂර නුවන්ත සමගින් අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනැගූ දිනූෂ, තරගාවලියේ පිට පිටම තෙවැනි අර්ධ ශතකයද සම්පූර්ණ කළේය.

ඉන් අනතුරුව ළහිරු කුමාර සමග එක්ව නවවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 35ක සම්බන්ධතාවක් ගොඩනගා ඇති දිනූෂ, මේ වන විට නොදැවී ලකුණු 85ක් ලබා සිටී.

වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 8කට ලකුණු 265ක් ලබා සිටි අතර, දිනූෂ සහ ළහිරු කුමාර නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 138 කදී කඩුලු 9 ට ඉනිම අත්හිටුවන විට ලකුණ 503 යි – (දේව්දත් පඩික්කාල් 117, ශුබ්මන් ගිල් 50, රවීන්ද්‍ර ජඩේජා 43, යශස්වි ජයිස්වාල් 45, කේ.එල්. රාහුල් 18, රිෂාබ් පාන්ට් 63, රවීන්ද්‍ර ජඩේජා 43, ධෘෘව් ජුරෙල් 115*, සාරාන්ෂ් ජේන් 06,මානව් සුතර් 18, මොහොමඩ් සිරාජ් 03, ප්‍රසිද් ක්‍රිෂ්ණා 04*, අසිත ප්‍රනාන්දු 106/4, ප්‍රභාත් ජයසූිය 132/2, කේෂර නුවන්ත 154/2, ළහිරු කුමාර 68/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 83.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 265 යි – (ළහිරු උදාර 01, කමිල් මිශාර 19, ප්‍රභාත් ජයසූරිය 02, පසිඳු සූරියබණ්ඩාර 80, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 08, සොනාල් දිනූෂ 85*, නිරෝෂන් දික්වැල්ල 00, කේෂර නුවන්ත 18, ළහිරු කුමාර 08*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 47/3, මානව් සුතාර් 83/3, රවීන්ද්‍ර ජඩේජා 45/1, මොහොමඩ් සිරාජ් 33/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar