මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ඩයලොග්‘ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2025 රාත්‍රියේදී කාන්තා අංශය යටතේ වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ඇතුළු සම්මාන 5 ක් දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වද්දී පිරිමිි අංශය යටතේ වැඩිම අවධානයක් යොමුව තිබූ වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංක විසින් දිනාගනු ලැබීය. ඊට අමතරව වසරේ දක්ෂතම ටෙස්ට් සහ විස්සයි-20 පිතිකරු සම්මානවලින් ද පැතුම් නිස්සංක පිදුම් ලැබුවේය.
උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැති මෙම සම්මාන රාත්‍රියේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකම් කියන ලද ක්‍රීඩිකාව බවට පත්වූ චමරි අතපත්තු, දිනා ගන්නා ලද සම්මාන අතරට වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට අමතරව වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය, වසරේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව මෙන්ම විස්සයි-20 ජාත්‍යන්තර තරග අංශය යටතේ වූ වසරේ දක්ෂතම පිතිකාරිණිය, මෙන්ම වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වයම අත්පත් කර ගැනීමට සමත්වූවාය.
ගෙවී ගිය 2025 වසරේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දරන ලද සියලු කැප කිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කිරීම වෙනුවෙන් පිරිනැමුණු සමස්ථ සම්මාන සංඛ්‍යාව 42 ක් විය. එහිදි ජාත්‍යන්තර තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙක්ද දේශීය තරග අංශය යටතේ පිරිනමන ලද සම්මාන 23 ක්ද ඇතුළත්වය.
13 වැනි වරටත් පවත්වන ලද මෙම ක්‍රිකට් සම්මාන ප්‍රධානයේදී ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රිකට් තරු රතු පලස මතින් පැමිණ අතර ත්‍යාග ප්‍රධානය දේශීය තරග පිටියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අගයමින් ආරම්භ විය.
ඊට අමතරව වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරියද, වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට් නායක ධනංජය ද සිල්වාද සම්මාන ලබාගනිද්දී වසරේ දක්ෂතම එක්දින පිතිකරුවා ලෙස චරිත් අසලංකද වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් දසුන් ශානකද සම්මාන දිනාගත්හ. මේ අතර වසරේ නැගීඑන ක්‍රීඩකයා සම්මානය ඉදිරි පෙළ පිතිකරු කමිල් මිශාර විසින් දිනාගත්තේය.
ජාත්‍යන්තර පිටියේ කාන්තා අංශය යටතේ පිරිනැමුණු සම්මාන 8 න් 5 ක්ම චමරි දිනා ගනිද්දී වසරේ දක්ෂතම එක්දින පිතිකාරිය ලෙසින් හර්ෂිතා සමරවික්‍රමද, වසරේ දක්ෂතම විස්සයි-20 පන්දු යවන්නිය ලෙසින්ද කවීෂා දිල්හාරිද සහ පළමු වතාවට පිරිනමන ලද නැගී එන කාන්තා ක්‍රීඩිකාව ලෙසින් ඉමේෂා දුලානිද සම්මාන දිනාගත්හ.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතයෙන් වැඩි කාලයක් ඒ සඳහා කැප කළ පුද්ගලයින් දෙදෙනකු දෙනෙකු වූ හිටපු නායකයින් වූ මයිකල් තිසේරා සහ අනුර තෙන්නකෝන් යන මහත්වරුන් වෙනුවෙන් පිරිනැමුණු ජීවිතයටම එක් වරක් පිදෙන සම්මාන ප්‍රධානය බොහෝ දෙනාගේ සිත්ගත් අවස්ථාවක් බවට පත්විය. මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිය මාධ්‍ය කටයුතුවල නිරත වන මාධ්‍ය වේදීන් දෙදෙනකු වූ නිදහස් මාධ්‍යවේදියකු වන කැලුම් ශ්‍රීමාල් සහ අයිලන්ඩ් පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යෙව්දී රීමස් ප්‍රනාන්දු මහතාවද මෙහිදී ඇගැයීමට ලක්වීම කැපී පෙනිණ.
දේශීය පිරිමි අංශයේ අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස විශේන් හැළඹගේ සම්මානය දිනාගත් අතර, දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්පත් නිශ්ශංක, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස දුෂාන් හේමන්ත ඇගයීමට ලක්විය. එම තරගාවලියේ ශූරතාව කොළඹ ක්‍රිකට් සමාජය (CCC) දිනාගත් අතර, පානදුර ක්‍රීඩා සමාජය අනුශූරතාව හිමිකර ගත්තේය.
අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස නිශාන් මදුෂ්ක සම්මානය දිනාගත් අතර, දක්ෂතම පිතිකරු ලෙස සංගීත් කුරේ, දක්ෂතම පන්දු යවන්නා ලෙස මොවින් සුබසිංහ, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස තනුක දාබරේ සම්මාන හිමිකර ගත්හ. ශූරතාව කොළඹ ක්‍රිකට් සමාජය (CCC) දිනාගත් අතර, පොලිස් ක්‍රීඩා සමාජය අනුශූරතාව දිනා ගත්තේය.
අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස ළහිරු උදාර, දක්ෂතම පන්දු යවන්නා ලෙස දිලුම් සුදීර, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනුජ සහන් සම්මාන දිනාගත් අතර, ශූරතාව කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ අනුශූරතාව ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය හිමිකර ගත්තේය.
දේශීය කාන්තා අංශයේ අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය ලෙස හර්ෂිතා සමරවික්‍රම, දක්ෂතම පන්දු යවන්නිය ලෙස ඉනෝකා රණවීර, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්හ. ශූරතාව නාවික හමුදා ක්‍රීඩා සමාජය දිනාගත් අතර, චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය අනුශූරතාව හිමිකර ගත්තේය.
තරග නිලධාරීන්ගේ අංශයේ වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස රවීන්ද්‍ර කොට්ටහච්චි මහතා සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මාන ප්‍රධානයේදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගිව සිටියේය. ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු එම කමිටුවේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම ක්‍රිකට් සම්මාන ප්‍රධානය සඳහා හිටපු ක්‍රිකට් සභාපතිවරුන් දෙදෙනකු වන තිලංග සුමතිපාල, මොහාන් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ පුහුණුකරුවන් ගැරී කර්ස්ටන්, ජාතික කාන්තා කණ්ඩායමේ පුහමුණුකරු ජිමී සිඩන්ස් යන මහත්වරුන්ට අමතරව, මෙම සම්මාන ප්‍රධානෝත්සවය සාර්ථක කර ගැනීම වෙනුවෙන් එක්වුණු ඩයලොග් ආසියාටාහි අධ්‍යක්ෂක සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතාද සහභාගිව සිටියහ. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලකයින්, වර්තමාන සහ හිටපු ක්‍රිකට් නායකයින් වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහක පාර්ශ්වකරුවන්, රාජත්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු මාධ්‍යෙව්දීන්ද මෙම සුවිශේෂි අවස්ථාවට සහභාගිවූහ.
| සම්මානය | ක්‍රීඩකයා |
| ජාත්‍යන්තර – පිරිමි | |
| වසරේ නැගීඑන ක්‍රීඩකයා | කමිල් මිශාර |
| ටෙස්ට් | |
| වසරේ දක්ෂතම පිතිකරු | පැතුම් නිස්සංක |
| වසරේ දක්ෂතම පන්දු යවන්නා | ප්‍රභාත් ජයසූරිය |
| වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා | ධනංජය ද සිල්වා |
| එක්දින | |
| වසරේ දක්ෂතම පිතිකරු | චරිත් අසලංක |
| වසරේ දක්ෂතම පන්දු යවන්නා | අසිත ප්‍රනාන්දු |
| වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා | වනිඳු හසරංග |
| විස්සයි-20 | |
| වසරේ දක්ෂතම පිතිකරු | පැතුම් නිස්සංක |
| වසරේ දක්ෂතම පන්දු යවන්නා | දුෂ්මන්ත චමීර |
| වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා | දසුන් ශානක |
| වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා | පැතුම් නිස්සංක |
| ජාත්‍යන්තර අංශය – කාන්තා | |
| වසරේ නැගීඑන ක්‍රීඩිකාව | ඉමේෂා දුලානි |
| එක්දින | |
| වසරේ දක්ෂතම පිතිකාරිණිය | හර්ෂිතා සමරවික්‍රම |
| වසරේ දක්ෂතම පන්දු යවන්නිය | චමරි අතපත්තු |
| වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව | චමරි අතපත්තු |
| විස්සයි-20 | |
| වසරේ දක්ෂතම පිතිකාරිණිය | චමරි අතපත්තු |
| වසරේ දක්ෂතම පන්දු යවන්නිය | කවීෂා දිල්හාරි |
| වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව | චමරි අතපත්තු |
| වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව | චමරි අතපත්තු |
| දේශීය තරග අංශය – පිරිමි | |
| අන්තර්සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය | |
| දක්ෂතම පන්දු යවන්නා | සම්පත් නිශ්ශංක |
| දක්ෂතම පිතිකරු | විශේන් හැළඹගේ |
| දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා | දුෂාන් හේමන්ත |
| වටිනාම ක්‍රීඩකයා | විශේන් හැළඹගේ |
| ශූරතාව | කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.) |
| අනුශූරතාව | පානදුර ක්‍රීඩා සමාජය |
| අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය | |
| දක්ෂතම පන්දු යවන්නා | මොවින් සුබසිංහ |
| දක්ෂතම පිතිකරු | සංගීත් කුරේ |
| දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා | තනුක දාබරේ |
| වටිනාම ක්‍රීඩකයා | නිශාන් මදුෂ්ක |
| ශූරතාව | කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.) |
| අනුශූරතාව | පොලිස් ක්‍රීඩා සමාජය |
| අන්තර් සමාජ ප්‍රධාතම තුන්දින තරගාවලිය | |
| දක්ෂතම පන්දු යවන්නා | දිලුම් සුදීර |
| දක්ෂතම පිතිකරු | ළහිරු උදාර |
| දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා | වනුජ සහන් |
| ශූරතාව | කෝල්ට්ස් ක්‍රිකට් සමාජය |
| අනුශූරතාව | ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය |
| දේශීය තරග අංශය – කාන්තා | |
| අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත ක්‍රිකට් තරගාවලිය | |
| දක්ෂතම පන්දු යවන්නිය | ඉනෝකා රණවීර |
| දක්ෂතම පිතිකාරිණිය | හමර්ෂිතා සමරවික්‍රම |
| දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව | චමරි අතපත්තු |
| ශූරතාව | නාවික හමුදා ක්‍රීඩා සමාජය |
| අනුශූරතාව | චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය |
| තරග නිලධාරීන් | |
| වසරේ ක්‍රිකට් විනිසුරු | රවීන්ද්‍ර කොට්ටහච්චි |
| විශේෂ සම්මාන | |
| වසරේ දක්ෂතම මාධ්‍යවේදියා | රීමස් ප්‍රනාන්දු මහතා (මුද්‍රිත) |
| වසරේ දක්ෂතම මාධ්‍යවේදියා | කැලුම් ශ්‍රීමාල් මහතා (විද්‍යුත්) |
| ජීවිත කාලය සඳහා වන සම්මානය | මයිකල් තිසේරා මහතා |
| ජීවිත කාලය සඳහා වන සම්මානය | අනුර තෙන්නකෝන් මහතා |






