slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2026
එක්දින ශූරතාව මුවර්ස් ක්‍රීඩා සමාජය දිනා ගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රධානතම සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 25කින් පරාජය කරමින් මුවර්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (11) පැවැති දිවා-රාත්‍රී තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය එස්.එස්.සී. කණ්ඩායමට ඕවර 49.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 235ක් පමණි. ඒ අනුව මුවර්ස් කණ්ඩායමට ජයග්‍රාහී කුසලාන සමඟ මුදලින් ලක්ෂ 30 ක්ද අනුශූරතාවයට පත් එස්.එස්.සී. කණ්ඩායමට මුදලින් ලක්ෂ 25 ක්ද පිරිනැමිණ.

එස්.එස්.සී. ඉනිමේ අවසන් බලාපොරොත්තුව බවට පත්වූ නිපුන් ධනංජය අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 98ක් රැස් කළද, අනෙක් පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබීම හේතුවෙන් ඔහුගේ ඉනිම ශතකයක් බවට පත් කර ගැනීමට නොහැකි වූවා සේම තරගයේ ජයද එස්. එස්. සී. කණ්ඩායමට අහිමිවිය. පන්දු 112කට මුහුණ දුන් නිපුන්ගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

නිපුන් සමඟ එක්ව කවිඳු නදීෂාන් ලකුණු 44ක් ලබා ගනිමින් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළද, මුවර්ස් පන්දු යවන්නන් තීරණාත්මක අවස්ථාවලදී කඩුලු දවා ගැනීම හේතුවෙන් එස්.එස්.සී. පිලේ හඹා යාම මන්දගාමී විය. දිනුර කළුපහන ලකුණු 30ක් ද, විෂාද් රන්දික ලකුණු 17ක් ද ලබා ගත්හ.

මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දුමාල උදේන විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 49කට කඩුලු 4ක් දවාගත් අතර, මිලාන් රත්නායක ලකුණු 33කට කඩුලු 3ක් බිඳ හෙළීය. සන්තුෂ් ගුණතිලක එක් කඩුල්ලක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් මුවර්ස් ක්‍රීඩා සමාජය ඕවර 49.5කදී ලකුණු 260කට සියලු දෙනා දැවී ගියේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රමේෂ් මෙන්ඩිස් පන්දු 91කින් ලකුණු 85ක් ලබා ගනිමින් ඉනිමේ ප්‍රධානතම පිතිකරු බවට පත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

රමේෂ් මෙන්ඩිස්ට අනගි සහයක් ලබාදුන් මිලාන් රත්නායක පන්දු 61කින් ලකුණු 43ක් රැස් කළ අතර, සිතාර ගිම්හාන් ලකුණු 39ක් සහ සොහාන් ද ලිවේරා ලකුණු 29ක් ලබා ගත්හ. මුවර්ස් ඉනිමට වැදගත් ලකුණු එකතු කරමින් අවසන් අදියරේදී ලකුණු පුවරුව 260 දක්වා රැගෙන යාමට මෙම පිතිකරුවන්ගේ දායකත්වය තීරණාත්මක විය.

එස්.එස්.සී. වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 44කට කඩුලු 4ක් දවාගත් අතර, මිහිරංග සිල්වා ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තේය. නිපුන් ධනංජය එක් කඩුල්ලක් දවාගත්තේය.

මුවර්ස් කණ්ඩායම ලකුණු 260කට සීමා කළ එස්.එස්.සී. පිලට හොඳ ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, මුවර්ස් පන්දු යවන්නන්ගේ පීඩනය මධ්‍යයේ ඔවුන්ගේ කඩුලු එකින් එක බිඳ වැටුණි. නිපුන් ධනංජයගේ සටන්කාමී ඉනිම මත තරගය අවසන් ඕවර දක්වා රැගෙන ගියද, ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ලබා ගැනීමට නොහැකි වීමෙන් එස්.එස්.සී. පිලට ලකුණු 25ක පරාජයක් අත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී කපිල විජේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංඛේත ප්‍රධානයේදී අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් රමේෂ් මෙන්ඩිස් සම්මාන දිනාගත් අතර ඔහුට එම කුසලාන සමඟ මුදලින් ලක්ෂ හතහමාරක් පිරිනැමිණ. දක්ෂතම පිතිකරුවා ලෙසින් තරග 6 කදී ලකුණු 280 ක් ලබා ගතු බී.ආර්.සී. කණ්ඩායමේ මොවින් සුබසිංහ ද දක්ෂතම පන්දු යවන්නා ලෙසින් තරග 6 කදී කඩුලු 15 ක් ලබා ගත් මුවර්ස් ක්‍රීඩා සමාජයේ ශිරාන් ප්‍රනාන්දුද සම්මාන දිනාගත්හ. මොවුන් දෙදෙනාටම එම කුසලාන සමඟ මුදලින් රුපියල් මිලියනය බැගින් පිරිනැමිණ.

මේ අතර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් තරග 7 කදී කඩුලු 13 ක් සහ ලකුණු 265 ක් රැස් කරගත් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ මුදිත ලක්ෂාන් සම්මාන දිනාගත්තේය. ඔහුට එම කුසලාන සමග මුදලින් ලක්ෂ 15 ක් පිරිනැමිණ.

ලකුණු සාරාංශය

මුවර්ස් ක්‍රීඩා සමාජය – 260 (49.5)රමේෂ් මෙන්ඩිස් 85, මිලාන් රත්නායක 43, සිතාර ගිම්හාන් 39, සොහාන් ද ලිවේරා 29, ප්‍රභාත් ජයසූරිය 44/4, මිහිරංග සිල්වා 36/3

එස්.එස්.සී. – 235 (49.5)නිපුන් ධනංජය 98, කවිඳු නදීෂාන් 44, දිනුර කළුපහන 30
ඉන්දුමාල උදේන 49/4, මිලාන් රත්නායක 33/3

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar