slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2026
ශූරතාව වෙනුවෙන් මුවර්ස් – එස්.එස්.සී. හෙට අවසන් සටනේ

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ තීරණාත්මක සටන මුවර්ස් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර හෙට (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම අවසන් මහ තරගය පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිත අතර, මෙවර අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ශූරතාව වෙනුවෙන් දෙපිළම තියුණු සටනකට අවතීර්ණ වනු ඇත.

මූලික වටය ලීග් ක්‍රමයට පැවැති අතර, එහිදී මුවර්ස් සහ එස්.එස්.සී. යන කණ්ඩායම් දෙකම තරග හයකට බැගින් සහභාගි වී තිබේ. එම තරග හය තුළදී පූර්ණ ජයග්‍රහණ හතරක් සහ පළමු ඉනිමේ ජයක් බැගින් වාර්තා කරමින් දෙපිළම ප්‍රබල දස්කම් දක්වා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

එහිදී එස්.එස්.සී. කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රබල සී.සී.සී. කණ්ඩායම හමුවූ අතර, ඉතා තියුණු තරගයකින් අනතුරුව එක් ලකුණක සුළු පරතරයකින් ජයගනිමින් අවසන් මහ තරගයේ ස්ථානය තහවුරු කර ගැනීමට ඔවුහු සමත් වූහ. අනෙක් අර්ධ අවසන් පූර්ව තරගයේදී මුවර්ස් කණ්ඩායම විසින් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 51කින් පරාජයට පත් කරමින් අවසන් සටනට පිවිසියේය.

මෙවර අවසන් මහ තරගයේ විශේෂත්වයක් බවට පත්ව ඇත්තේ එස්.එස්.සී. කණ්ඩායමේ වේගවත් ඉදිරි ගමනයි. ඉකුත් තරග වාරයේදී ටියර් ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණු එස්.එස්.සී. පිල, දක්ෂතා මත ඉහළ කාණ්ඩයට උසස්වීම ලබාගත් අතර, එම උසස්වීමෙන් අනතුරුව පළමු අවස්ථාවේදීම ප්‍රධානතම එක්දින තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම කැපී පෙනෙන දස්කමකි.

එස්.එස්.සී. නායක අවිශ්ක ප්‍රනාන්දු පවසන්නේ ටියර් ‘බී’ කාණ්ඩයේ සිට ඉහළට පැමිණ කෙටි කාලයක් තුළ මෙවැනි සාර්ථකත්වයක් අත්කර ගැනීම තම කණ්ඩායමට විශාල ආත්ම විශ්වාසයක් ලබාදී ඇති බවයි. එමෙන්ම තරගාවලිය පුරා අඛණ්ඩව ජයග්‍රහණ අතර රැඳී සිටීමට හැකිවීමද අවසන් සටනට පිවිසීමේදී කණ්ඩායමේ විශ්වාසය තවදුරටත් ඉහළ නංවා ඇති බව ඔහු සඳහන් කළේය.

දකුණත් පිතිකරුවකු වන අවිශ්ක වැඩිදුරටත් සඳහන් කරන්නේ මුවර්ස් කණ්ඩායමද දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින් රැසකින් සමන්විත බැවින් අවසන් මහ තරගය කිසිසේත් පහසු සටනක් නොවනු ඇති බවයි. එබැවින් තරගයේ ආරම්භයේ සිටම සිය කණ්ඩායමට ඉහළ මට්ටමේ දස්කම් දැක්වීමට සිදුවනු ඇති බවද ඔහුගේ අදහස වී තිබේ.

මේ අතර, මුවර්ස් කණ්ඩායමද මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් අවසන් මහ තරගයට පැමිණ තිබේ. මුවර්ස් කණ්ඩායම අන්තර් සමාජ ප්‍රධානතම තරගාවලියක අවසන් මහ තරගයකට පිවිසෙන්නේ 2018 වසරෙන් පසුව වීමද මෙම තරගයට විශේෂත්වයක් එක්කරයි.

මුවර්ස් නායක පසිඳු සූරියබණ්ඩාර සඳහන් කරන්නේ දීර්ඝ කාලයකට පසුව අවසන් මහ තරගයකට පැමිණීමට හැකිවීම කණ්ඩායම ලැබූ වැදගත් ජයග්‍රහණයක් බවයි. තරගාවලිය පුරාම කණ්ඩායමේ ක්‍රීඩකයින් විවිධ අවස්ථාවලදී දක්ෂතා අතරට පැමිණීම අවසන් තරගය දක්වා පැමිණීමට ප්‍රධාන හේතුවක් වූ බවද ඔහු පෙන්වා දෙයි.

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් මේ වන විට හොඳ රිද්මයක සිටින බැවින් එස්.එස්.සී. කණ්ඩායමට උපරිම අභියෝගයක් එල්ල කිරීමට තම කණ්ඩායම සූදානමින් සිටින බවද පසිඳු සඳහන් කරයි.

ඒ අනුව මෙවර අවසන් මහ තරගය වසර කිහිපයකට පසුව ශූරතාවක් සොයන මුවර්ස් කණ්ඩායම සහ ටියර් ‘බී’ සිට ඉහළට පැමිණි සැණින් ශූරතා සටනකට පිවිසි එස්.එස්.සී. කණ්ඩායම අතර පැවැත්වෙන තරගයක් බවට පත්ව තිබේ. දෙපිළේම ක්‍රීඩකයින් මේ වන විට දක්ෂතා අතර සිටීම හේතුවෙන් පිතිකරුවන් හා පන්දු යවන්නන් අතර ඇතිවන සටන මෙන්ම තරගයේ තීරණාත්මක අවස්ථාවලදී ක්‍රීඩකයින් දක්වන දක්ෂතාද ශූරතාවේ හිමිකරුවන් තීරණය කිරීමේදී වැදගත් වනු ඇත.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක මැද පැවැත්වෙන මෙම දිවා-රාත්‍රී අවසන් තරගයේදී අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ශූරතාව සිය නමට ලියාගන්නේ මුවර්ස්ද, එස්.එස්.සී.ද යන්න හෙට තීරණය වනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee