slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2026
රන් පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ඒම අපේ එකම අරමුණයි – සහන් ආරච්චිගේ

sinhala editor

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම අරමුණ රන් පදක්කම දිනා ගැනීම බව කණ්ඩායම් නායක සහන් ආරච්චිගේ පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) ජපානය බලා පිටත්ව යෑමට පෙර සර්වආගමික වතාවත් සිදු කළ අතර, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරච්චිගේ සඳහන් කළේ, කණ්ඩායමක් ලෙස මුල්ම ඉලක්කය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම බවත්, ඉන් අනතුරුව රට වෙනුවෙන් රන් පදක්කම දිනා ගැනීම තමන්ගේ සහ සමස්ත කණ්ඩායමේ අපේක්ෂාව බවත්ය.

“කණ්ඩායමක් විදියට අනිවාර්යයෙන්ම අවසන් මහා තරගයට යන්න තමයි අපේ ටාගට් එක. ඒකට ගිහිල්ලා රන් පදක්කම රට වෙනුවෙන් දිනාගන්න එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන එන එක තමයි අපේ එකම අරමුණ,” යැයි ඔහු පැවසීය.

මෙවර තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය වැනි ප්‍රබල කණ්ඩායම් එක්වන බැවින් දැඩි අභියෝගයක් පවතින බවද නායකයා සඳහන් කළේය. විශේෂයෙන් ඉන්දියාව ප්‍රබල කණ්ඩායමක් වුවද එම අභියෝගයට සූදානමින් මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් බව ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලිය සඳහා හොඳ සූදානමක් ලැබී ඇති බවද ආරච්චිගේ පෙන්වා දුන්නේය. දේශීය විස්සයි20 තරගාවලි හරහා ක්‍රීඩකයන්ට අවශ්‍ය තරග අත්දැකීම් ලැබී තිබූ අතර, වර්ෂාවෙන් යම් බාධා පැවතියද පුහුණුවීම් සඳහා ප්‍රමාණවත් කාලයක් හිමි වූ බව ඔහු සඳහන් කළේය.

“එල්.පී.එල්. සහ දේශීය විස්සයි20 තරගාවලිවල දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්නවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ නවකයන්ගේ හොඳ මිශ්‍රණයක් අපේ කණ්ඩායමට තියෙනවා. මම හිතනවා අපිට හොඳ කණ්ඩායමක් ලැබිලා තියෙනවා කියලා,” යැයි ඔහු පැවසීය.

ජපානයේ ක්‍රිකට් තණතීරු පිළිබඳවද අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, කාන්තා කණ්ඩායම සහ පුහුණු කාර්ය මණ්ඩලය ලබාදුන් තොරතුරු අනුව එරට තණතීරු සාපේක්ෂව මන්දගාමී විය හැකි බවත්, දඟ පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් ඇතිවිය හැකි බවත්ය. ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 25 වැනිදා ජපානයට ළඟා වන අතර, පළමු තරගයට පෙර දින කිහිපයක පුහුණුවීම් මගින් තණතීරු පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

තවද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් තම කණ්ඩායමට සහයෝගය ලබා දෙන ලෙස නායකයා විශේෂ ඉල්ලීමක්ද කළේය.

“ජපානයේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් මගේ ඉල්ලීම තමයි අපේ තරග බලන්න ඇවිල්ලා අපිට සහයෝගය දෙන්න කියලා,” යැයි ආරච්චිගේ පැවසීය.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ. කණ්ඩායම් 10ක් තරගාවලියට එක්වන අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය සෘජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය පළමු තරගය සැප්තැම්බර් 29 වැනිදා ‘ඒ’ කාණ්ඩයේ ශූරයන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම තරගය ජයගතහොත් ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයට පිවිසෙනු ඇත. රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගය ඔක්තෝබර් 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee