ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් ලියෝ ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය හෙට (26) අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී) අවසන් සටනට පිවිසෙති.
සුපුන් ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් ලියෝ ක්‍රිකට් සමාජය සහ ශෙහඳ සොයිසාගේ නායකත්වයෙන් යුත් යුද හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ පිළිවෙළින් සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය පරාජයට පත් කරමිනි.
මෙහිදී විශේෂත්වයක් වන්නේ යුද හමුදා ක්‍රීඩා සමාජය මෙවර පැවැති ප්‍රධාන පෙළේ එක්දින තරගාවලියේ ශූරතාව ද දිනා සිටීමයි. ඒ අනුව එක්දින ශූරතාවෙන් අනතුරුව විස්සයි විස්ස ශූරතාව ද දිනා ගැනීමේ අවස්ථාව ඔවුන් ඉදිරියේ තිබේ. මූලික වටයේදී මීගමුව, යුනයිටඩ් සදර්න්, කුරුණෑගල, මොරටුව සහ චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජ සමඟ තරග කළ ලියෝ කණ්ඩායම එහිදී ජයග්‍රහණ තුනක් වාර්තා කළේය.
අර්ධ අවසන් පූර්ව තරගයේදී නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 98කින් පරාජයට පත් කළ ලියෝ කණ්ඩායම, අවසන් පූර්ව තරගයේදී සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය ලකුණු 59කින් පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණියේය.
ලියෝ කණ්ඩායමේ පිතිකරණයේ ප්‍රධානතම බලාපොරොත්තුවක් බවට පත්ව සිටින්නේ 23 හැවිරිදි වමත් පිතිකරු නෙත්ම කරුණාරත්නය. තරග පහකට සහභාගී වී ඇති ඔහු අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 165ක් රැස් කරගෙන සිටී. අශාන් ප්‍රනාන්දු තරග හතකදී අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 138ක් ද, රොමේෂ් සුරංග අර්ධ ශතකයක් සමඟ ලකුණු 131ක් ද, නෙලුක හේෂාන් ලකුණු 113ක් ද රැස් කරමින් ලියෝ කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කරති.
පන්දු යැවීමේදී වමතින් දඟ පන්දු යවන සුදාර දක්ෂිණ කැපී පෙනෙන දස්කම් දක්වා ඇති අතර තරග හතකදී කඩුලු 12ක් දවාගෙන තිබේ. රොමේෂ් සුරංග සහ නායක සුපුන් ඩිල්ශාන් කඩුලු නවය බැගින් දවාගෙන ඇති අතර ප්‍රසාද් අසංක කඩුලු හතක් දවාගෙන සිටී.
හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ලියෝ නායක සුපුන් ඩිල්ෂාන් සඳහන් කර සිටියේ හොඳ පුහුණුවීම් සැසි කීපකට සහභාගිවීමෙන් පසු අවසන් මහ තරගය සදහා තම කණ්ඩායම ඉතා හොඳ සූදානමකින් පසුවන බවයි. එමෙන්ම ප්‍රතිවාදී යුද හමුදා කණ්ඩායම එක්දින තරගාවලියේද ශූරයින් වූ බැවින් හෙට තරගෙය්දී ඔවුන්ගෙන් දැවැන්ත අභියෝගයක් තමා ඇතුළු කණ්ඩායම අපේක්ෂා කරන බව සඳහන් කර සිටියේය.
යුද හමුදා ක්‍රීඩා සමාජය මූලික වටයේදී කැන්ඩි කස්ටම්ස්, සෙබස්තියනයිට්ස්, නාවික හමුදා, ගාල්ල සහ රාගම ක්‍රීඩා සමාජ සමඟ තරග කළ අතර එහිදී ජයග්‍රහණ හතරක් වාර්තා කළේය.
අර්ධ අවසන් පූර්ව තරගයේදී මොරටුව ක්‍රීඩා සමාජය ලකුණු 14කින් පරාජය කළ යුද හමුදා කණ්ඩායම, අවසන් පූර්ව තරගයේදී මීගමුව ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 27කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
යුද හමුදා කණ්ඩායමේ පිතිකරණයේ ප්‍රධානතම ක්‍රීඩකයා වී සිටින්නේ 26 හැවිරිදි දකුණත් පිතිකරු මනුශ්ක සමිත්ය. තරග හයකදී අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 187ක් රැස් කර ඇති ඔහු මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා සහ අසේල ගුණරත්නගේ අත්දැකීම් ද යුද හමුදා කණ්ඩායමේ පිතිකරණ බලඇණියට එක්වීම විශේෂත්වයකි.
ඔවුන්ට අමතරව අශාන් සුදර්ශන තරග හයකදී අර්ධ ශතකයක් සමඟ ලකුණු 164ක් ද, ජනක සම්පත් අර්ධ ශතකයක් සමඟ ලකුණු 128ක් ද ලබා සිටිති.
පන්දු යැවීමේදී පා දඟ පන්දු යවන ජනක සම්පත් තරග හයකදී කඩුලු 10ක් දවාගෙන ඇති අතර ලිලාන් රංගන කඩුලු නවයක් සහ පැතුම් මලිත කඩුලු අටක් දවාගෙන සිටිති.
එක්දින ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව විස්සයි විස්ස ශූරතාව ද දිනා ගැනීමේ අරමුණින් යුද හමුදා ක්‍රීඩා සමාජය අවසන් සටනට පිවිසෙන අතර, ලියෝ ක්‍රිකට් සමාජය ද තරගාවලිය පුරා දැක්වූ දස්කම් මත ශූරතාව සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සූදානමින් සිටී.
ඒ පිළිබඳව අදහස් දක්වා සිටි යුද හමුදා නායක ශෙහඳ සොයිසා, එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්වීමත් සමඟ තම කණ්ඩායමේ මානසික යෝග්‍යතාව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් හෙට තරගයේදී සුභවාදී ආකල්පයකින් තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් කර සිටියේය. එමෙන්ම ප්‍රතිවාදී ලියෝ කණ්ඩායමද සමස්ථ තරගාවලිය පුරාම ඉතා විශිෂ්ඨ දස්කම් දක්වා තිබෙන කණ්ඩායමක් බැවින් හෙට තරගයේදී ඔවුන්ව අවතක්සේරුවෙන් නොසලකන බවද හෙතෙම සඳහන් කර සිටියේය.
ඒ අනුව ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව හිමිකර ගන්නේ කවුරුන්ද යන්න තීරණය කෙරෙන අනුරාධපුර සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් මහා තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනු ඇත.
ලියෝ කණ්ඩායම – සුපුන් ඩිල්ශාන් (නායක), ප්‍රසාද් අසංක, අශාන් ප්‍රනාන්දු, නෙත්ම කරුණාරත්න, නෙලුක හේෂාන්, රොමේෂ් සුරංග, විශ්ව රාජපක්ෂ, පූර්ණ කල්හාර, සලිඳු පතිරණ, සුදාර දක්ෂිණ, ගයන කහවිටි, ඔෂද ගිම්හාන්, ගිත්මින් කොළඹගේ, සමිත් ඩිල්ශාන්, අවින්ත ද අල්විස් සහ ගයාන් ද සිල්වා.
යුද හමුදා කණ්ඩායම – ශෙහඳ සොයිසා (නායක), අශාන් සුදර්ශන, ජනක සම්පත්, මනුශ්ක සමිත්, අසේල ගුණරත්න, තිසර පෙරේරා, රවිඳු විජේවර්ධන, ක්‍රිශේන් අපෝන්සු, ලිලාන් රංගන, පැතුම් මලිත, සරත් මදුශ්ක, මල්ක මදුශංක, ඉසුරු ධනංජය සහ සුඛිත දෙව්තිළිණ.





