ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු භාරව සිටින ක්‍රිකට් පරිවර්තන කමිටුව මේ වන විටත් මහජන විශ්වාසය යළි ගොඩනැගීම, මූල්‍ය වගවීම ශක්තිමත් කිරීම සහ මෙරට ක්‍රිකට් පරිපාලනය තුළ වෘත්තීයමය පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම යන කරුණු මූලික කර ගනිමින් ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව එම කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා අද (30 දා) පැවසීය.
ක්‍රිකට් පරිවර්තනය කමිටුව විසින් මසකට වරක් පවත්වනු ලබන මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි එම කමිටු සභාපතිවරයා, ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු පුද්ගලයකුට හෝ පරිපාලන මණ්ඩලයකට අයත් දෙයක් නොව, එය මහජනතාවට අයත් ජාතික සම්පතක් බව පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, සියලු පාර්ශ්වයන් නීතිය සහ ස්ථාපිත රෙගුලාසි අනුව කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, යෝජිත නව පරිපාලන ව්‍යුහය යටතේ සේවකයන්ගේ කාර්යසාධනය දැඩි ඉලක්ක හා ඇගයීම් ක්‍රමවේදයක් ඔස්සේ පරීක්ෂා කිරීමට නියමිත බවද වික්‍රමරත්න මහතා පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමරත්න මහතා සඳහන් කළේ නව පරිපාලන ව්‍යුහය මගින් සේවකයන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සඳහා වඩාත් පැහැදිලි වගකීම් මෙන්ම ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) හඳුන්වා දීමට නියමිත බවයි.
“වෙනස්කම් සිදුවිය යුතු නිසා වෙනස්කම් සිදුවේවි” යැයි පැවසූ ඒ මහතා, මෙම පරිවර්තන ක්‍රියාවලිය අභියෝගාත්මක වනු ඇති බවත්, එහිදී සේවකයන්ගේ කාර්යසාධනය වඩාත් සමීපව ඇගයීමට ලක්වන බවත් සඳහන් කළේය.
කමිටු සාමාජික ඩිනාල් ෆිලිප්ස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විවිධ තනතුරු සඳහා වඩාත් සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි. කාර්යසාධනය මත පදනම්ව ඇතැම් පත්වීම් කොන්ත්‍රාත් පදනම මත සිදුකළ හැකි බවත්, සියලුම සේවකයන් දැඩි ඇගයීම් ක්‍රියාවලියකට යටත් වන බවත් ඔහු පැවසීය.
යෝජිත නව ව්‍යුහය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික පරිපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම ප්‍රධාන විධායක නිලධාරියා වෙත පැවරෙන අතර, අධ්යක්ෂ මණ්ඩලයේ අවධානය ප්‍රතිපත්ති සම්පාදනය සහ අධීක්ෂණ කටයුතු වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවද ෆිලිප්ස් මහතා සඳහන් කළේය.
.රුපියල් බිලියන 16ක පමණ වටිනාකමක් සහිත ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ වඩාත් ශක්තිමත් පාලන හා අධීක්ෂණ ක්‍රමවේද අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කර ඇති අතර, මේ වනවිට එය මහජන අදහස් හා පරීක්ෂාව සඳහා විවෘතව පවතී. නව ව්‍යුහය යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව අවශ්‍ය රෙගුලාසි හා නීති සකස් කළ යුතු බවත්, එම ක්‍රියාවලිය සඳහා මාස කිහිපයක් ගතවිය හැකි බවත් කමිටු සාමාජිකයෝ සඳහන් කළහ.
“ස්වාධීන සහ විශේෂඥ කළමනාකරණයක් අපි නිර්මාණය කළ යුතුයි. අපි ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා. ඒ අතරම කළමනාකරණය ස්වාධීනව ගොඩනඟනවා. එමගින් අඛණ්ඩතාව සහ දිගුකාලීන පැවැත්ම සහතික කළ හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.
ප්‍රතිපත්ති සම්පාදනය සහ දෛනික මෙහෙයුම් කළමනාකරණය වෙන් කිරීම තුළින් පරිපාලන අඛණ්ඩතාව තහවුරු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන සංවර්ධනයට සහාය ලබාදිය හැකි බවත්, එය පිළිගත් ආයතනික පාලන මූලධර්මවලටද අනුකූල වන බවත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික විගණන සහ මූල්‍ය රෙගුලාසිවලට යටත් වන බැවින් දැඩි මූල්‍ය අධීක්ෂණයක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය. ක්‍රිකට් පරිපාලනය විනිවිදභාවය සම්බන්ධ අවශ්‍යතාවලින්, විශේෂයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතෙන්, නිදහස් බවට මීට පෙර පැවති මතයන් නිවැරදි නොවන බවද ඔහු පැවසීය.
යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ දිස්ත්‍රික් සංගම්, පළාත් සංගම් සහ ක්‍රීඩා සමාජ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ සියලු ආයතනද මූල්‍ය හා පාලන රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු වේ. මූල්‍ය හෝ පරිපාලන අක්‍රමිකතා සඳහා කිසිදු ඉඩක් නොතබන බව වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රීඩාංගණවල තණතිලිවල තත්ත්වය සහ ක්‍රිකට් යටිතල පහසුකම්වල පවතින අඩුපාඩුද කඩිනමින් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර ලෙස පරිවර්තන කමිටුව හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාක්ෂණික විශේෂඥයන් සමඟ එක්ව සිය තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීමටද කටයුතු කරමින් සිටී. පුහුණුකරුවන්ගේ අධ්‍යාපනය, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ භෞතචිකිත්සාව, ක්‍රීඩා මනෝවිද්‍යාව මෙන්ම කාන්තා ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් වැඩිදියුණු කිරීමද මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ඇතුළත් වේ.
පරිපාලකයන් සහ කාර්ය මණ්ඩලය තමන් ජාතික ආයතනයක තාවකාලික භාරකරුවන් පමණක් බව අවබෝධ කරගත යුතු බවද වික්‍රමරත්න මහතා පැවසීය. මහජනතාව වෙනුවෙන් විනිවිදභාවයෙන් යුතු, ශක්තිමත් සහ ලෝක මට්ටමේ ක්‍රිකට් පද්ධතියක් ස්ථාපිත කිරීම මෙහි අවසාන අරමුණ බවද ඔහු සඳහන් කළේය.
“මෙහි සේවය කරන අප සියලුදෙනාම මෙහි සිටින්නේ යම් කාලයකට පමණයි. නමුත් ආයතනය දිගටම පැවතිය යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියටම ගමන් කළ යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.





