සංජනා කවින්දිගේ විශිෂ්ට පිතිහරඹයත්, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවත් හේතුවෙන් පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් තරගාවලියේ හයවැනි තරගයෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ අද (09 දා) සමත් වූහ.
ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 110ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 111ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගත්හ.
ජයග්‍රහණයේ ප්‍රධානතම නියමුවා බවට පත්වූ සංජනා කවින්දි පන්දු 46කදී නොදැවී ලකුණු 61ක් රැස් කළාය. ඇයගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඇතුළත් විය. ඇයට අනගි සහායක් ලබාදුන් විමෝක්ෂා බාලසූරිය පන්දු 46කදී නොදැවී ලකුණු 43ක් රැස් කළාය. දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. සංජනා දැවී ගියේ ජයග්‍රහණයට තවත් ලකුණු තුනක් පමණක් අවශ්‍යව තිබියදීය. සංජනාගේ මෙම පිතිහරඹය හේතුවෙන් ඇයට තරගයේ වීරවරිය සම්මානය ද හිමිවිය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, පාකිස්තාන පිතිකාරිනියන්ට නිදහසේ ලකුණු රැස් කිරීමට තිබූ අවස්ථා සීමා කළේය. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ කොමාල් ඛාන් පන්දු 59කදී ලකුණු 54ක් රැස් කළාය. ඇගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් වූ අතර, රවයිල් ෆර්හාන් පන්දු 26කදී ලකුණු 26ක් ලබා ගත්තාය.
මෙම දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කරමින් පාකිස්තානයට ස්ථාවර ආරම්භයක් ලබා දුන්හ. එහෙත් එම සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නියන් තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූහ. ෂහාර් බානෝ ලකුණු 14ක් රැස් කළ නමුත්, අනෙක් පිතිකාරිනියන්ට දිගු ඉනිම් ගොඩනැඟීමට නොහැකි විය.
අවසන් පන්දුවාර කිහිපයේදී පාකිස්තාන කඩුලු අඛණ්ඩව බිඳ වැටීමත් සමඟ ඔවුන්ගේ ලකුණු රැස්කිරීමේ වේගය අඩාල වූ අතර, අවසන් කඩුලු කිහිපය දුවද්දී දැවී යෑම්වලට හසුවීම ද ශ්‍රී ලංකාවට වාසිදායක විය. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පාලනය සහ පන්දු රැකීමේදී දැක්වූ දක්ෂතා හමුවේ පාකිස්තානයට ලකුණු 110කට සීමා වීමට සිදුවිය.
පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 110/ – කොමාල් ඛාන් 54, රවයිල් ෆර්හාන් 26, ෂහාර් බානෝ 14, චමෝදි හේරත් 10/1, දනෝද්‍යා සෙව්මිණි 14/1, නෙත්මි උපේක්ෂා 19/1
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 15.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 111 යි සංජනා කවින්දි 61, විමෝක්ෂා බාලසූරිය 43*, මහ්නූර් සෙබ් 18/1





