සසිත් බණ්ඩාර රැස් කළ විශිෂ්ට ශතකය හමුවේ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 285ක් රැස් කළ ද, මොහොමඩ් යූසෆ්ගේ නොදැවුණු ලකුණු 144 හමුවේ පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 306ක් ලබා ඉදිරියට පැමිණියහ.
මුල්තාන්හිදී පැවැත්වෙන දෙරට අතර එකම තුන් දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (10) ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු දෙක දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. පළමු දිනය නිමා වන විට කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට එදින තවත් ලකුණු 8ක් පමණක් එක් කර ගැනීමට හැකි වූ අතර, එහිදී සසිත් බණ්ඩාර සිය ශතකය සම්පූර්ණ කරමින් පන්දු 198කදී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 103ක් රැස් කළේය. පළමු දිනයේ නොදැවී ලකුණු 38ක් ලබා සිටි රවීන් සචින්තට දෙවැනි දිනයේදී ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, ඔහු දැවී ගියේ එම ලකුණු සංඛ්‍යාවටමය.
ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 86.5කදී ලකුණු 285කට සීමා කිරීමෙන් අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ ආරම්භක කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩනඟමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්හ. එහිදී දවුද් තවුකීර් යූසෆ් පන්දු 66කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් රැස් කළේය.
අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් යූසෆ් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් දිනය නිමා වන විට පන්දු 117කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 144ක් රැස් කර සිටියේය. ඔහු සුදයිස් අහමඩ් සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 67ක් ද, අසාන් අහමඩ් සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 86ක් ද, මොහොමඩ් යාකූබ් ඛාන් සමඟ සිව්වැනි කඩුල්ලට ලකුණු 67ක් ද එක් කරමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළේය.
සුදයිස් අහමඩ් පන්දු 144කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් රැස් කළ අතර, අසාන් අහමඩ් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේය. මොහොමඩ් යාකූබ් ඛාන් පන්දු 48කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් රවීන් සචින්ත, තාරුක සමන්ජිත් සහ සඳරු මල්ෂාන් කඩුල්ල බැගින් දවා ගත්හ. දෙවැනි දිනය අවසන් වන විට මොහොමඩ් යූසෆ් සමඟ හමීඩ් රාසා නොදැවී ලකුණු 2ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 21ක් ඉදිරියෙන් සිටින අතර, තරගයේ අවසන් දිනය හෙට (11) ක්‍රියාත්මක වීමට නියමිතය.
ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී 285 (පන්දුවාර 86.5) – සසිත් බණ්ඩාර 103, රවීන් සචින්ත 38, චෙනුක දොඩංගොඩ 26, මෙතුක ගුණරත්න 22, මොහොමඩ් ඉහ්සාන් 62/3, ෆහඩ් ඉක්බාල් 46/3, මොහොමඩ් යාකූබ් කහාන් 33/2.
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමු ඉනිම කඩුලු 4ක් දැවී 306 (පන්දුවාර 84) – මොහොමඩ් යූසෆ් නොදැවී 144, සුදයිස් අහමඩ් 61, අසාන් අහමඩ් 31, මොහොමඩ් යාකූබ් ඛාන් 26, දවුද් තවුකීර් යූසෆ් 24




