පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැති සිව්වැනි එක්දින ක්රිකට් තරගයෙන්ද ලකුණු 93ක ජයක් වාර්තා කළ පාකිස්තානු යොවුන් ක්රීඩකයෝ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ජය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට අද (21දා) සමත් වූහ. ඒ අනුව තරගාවලියේ තරග 3-1ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී අසාන් අහමඩ්ගේ වේගවත් පිතිහරඹයත් අමර් ඛාන්ගේ පන්දු යැවීමත් පාකිස්තානු ජයග්රහණයේ කැපී පෙනුණි.
මුල්තාන් ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 180ක් පමණි.
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රෙෂාන් සොලමන්ස් පන්දු 97කදී හතරේ පහර පහක් සමඟින් ලකුණු 64ක් රැස් කළේය. නායක ස්ටෙවෝන් පීරිස් ලකුණු 33ක් සහ සඳරු මල්ෂාන් ලකුණු 29ක් ලබා ගත්හ.
ලකුණු 274ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුනම ලකුණු 23ක් වන විට බිඳ වැටුණු අතර, සිව්වැනි කඩුල්ලද ලකුණු 52දී අහිමි වීමෙන් යොවුන් පිල දැඩි අසීරුතාවකට පත්විය. එහෙත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ ස්ටෙවෝන් පීරිස් සහ රෙෂාන් සොලමන්ස් ලකුණු 48ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉනිම යම් ස්ථාවරත්වයකට ගෙන ආහ.
අනතුරුව සොලමන්ස් සමඟ එක්වූ සඳරු මල්ෂාන් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක සම්බන්ධතාවක් ගොඩනැඟුවේ ශ්රී ලංකා ඉනිමට යළි බලාපොරොත්තුවක් එක් කරමිනි. කෙසේ වෙතත්, එම කඩුල්ල බිඳ වැටීමෙන් පසු ශ්රී ලංකා ඉනිමේ අවසන් කඩුලු හතරම ලකුණු 12ක් තුළ දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ.
පාකිස්තානු පන්දු යැවීමේ අංශය මෙහෙයවූ අමර් ඛාන් පන්දුවාර 10කදී ලකුණු 44කට කඩුලු තුනක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය. ෆහාඩ් ඉක්බාල් සහ මොහොමඩ් සයිම් කඩුලු දෙක බැගින් දවා ගනිමින් පාකිස්තානු ජයග්රහණය තහවුරු කිරීමට දායක වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබාදුන් මොහොමඩ් යුසුෆ් පන්දු 91කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 60ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු දාවුඩ් ටකීර් පන්දු 62කදී හතරේ පහර හතරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේය. මෙම පිතිකරුවන් තිදෙනාගේ දායකත්වය හේතුවෙන් ශ්රී ලංකාව හමුවේ සටන්කාමී ඉලක්කයක් තැබීමට පාකිස්තානු කණ්ඩායමට හැකි විය.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තරුක සමන්ජිත්, කලිඳු සචින්තන සහ සශිත් බණ්ඩාර කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.
දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය මේ මස 24 වැනිදා පැවැත්වීමට නියමිතය. එම තරගය පැවැත්වීමටත් පෙර තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට පාකිස්තානු යොවුන් ක්රීඩකයෝ සමත්ව සිටිති.
පාකිස්තානු වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – 273/9 (පන්දුවාර 50) – අසාන් අහමඩ් 82, මොහොමඩ් යුසුෆ් 60, ටකීර් රානා 44, හම්සා අබ්බාස් 14, මොහොමඩ් සයිම් 18, තරුක සමන්ජිත් 41/2, කලිඳු සචින්තන 42/2, සශිත් බණ්ඩාර 47/2
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – 180 (පන්දුවාර 42.3) – රෙෂාන් සොලමන්ස් 64, ස්ටෙවෝන් පීරිස් 33, සඳරු මල්ෂාන් 29, මෙතුක ගුණරත්න 10, ශෂිත් බණ්ඩාර 14, අමර් ඛාන් 44/3, ෆහාඩ් ඉක්බාල් 31/2, මොහොමඩ් සයිම් 34/2





