slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2026
ඉමේෂාගේ පිතිහරඹයෙන් පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහ තරගයට

sinhala editor

පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ අද (23) අජ්මාන්හිදී පැවැති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ICC කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සුපර් සික්ස් වටයේ සහභාගී වූ තරග සියල්ලම ජය ගනිමින් අපරාජිතව එම වටය අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 140ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ඉමේෂා දුලානි පන්දු 38කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් රැස් කළාය. විශ්මි ගුණරත්න පන්දු 23කදී ලකුණු 30ක් ලබාගත් අතර සංජනා කාවින්දි ලකුණු 16ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 13ක් රැස් කළහ.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් උම්-ඊ-හානි ලකුණු 17කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 141ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 136ක් පමණි. ඔමයිමා සොහේල් ලකුණු 36ක් සහ ටුබා හසන් ලකුණු 24ක් රැස් කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළද ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂතා හමුවේ එම උත්සාහය ව්‍යර්ථ විය. අවසන් පන්දුවාර කිහිපයේදී ටස්මියා රුබාබ් පන්දු 11කදී නොදැවී ලකුණු 23ක් රැස් කළද පාකිස්තානයට ජයග්‍රාහී සීමාව පසුකර යාමට එය ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු සත්‍යා සඳීපනී ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තාය. සුගන්ධිකා කුමාරි ලකුණු 17කට කඩුලු 2ක් බිඳ හෙළූ අතර මල්කි මදාරා සහ නිලක්ෂිකා සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිත්තෙන් දැක්වූ විශිෂ්ට දක්ෂතාව වෙනුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකා සම්මානය ඉමේෂා දුලානි පිදුම් ලැබුවාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 140/6 (පන්දුවාර 20) – ඉමේෂා දුලානි 56, විශ්මි ගුණරත්න 30, සංජනා කාවින්දි 16, නිලක්ෂිකා සිල්වා 13, උම්-ඊ-හානි 17/3, නෂ්රා සන්ධු 34/1, ටුබා හසන් 22/1.

පාකිස්තාන කාන්තා කණ්ඩායම – 136/9 (පන්දුවාර 20) – ඔමයිමා සොහේල් 36, ටස්මියා රුබාබ් නොදැවී 23, ටුබා හසන් 24, සත්‍යා සඳීපනී 29/3, සුගන්ධිකා කුමාරි 17/2, මල්කි මදාරා 26/1, නිලක්ෂිකා සිල්වා 19/1.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar