පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුග්‍රාහක කණ්ඩායම සමඟ පැවැති තුන් දින පුහුණු තරගයෙන් ලකුණු 142ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (6) සමත් විය.
ඉස්ලාමාබාද් නුවර ඉස්ලාමාබාද් ක්ලබ් ක්‍රිකට් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිමට ලබාගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 151ක් පමණි.
ඒ අනුව ලකුණු 72ක වාසියක් ද සමඟින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 181ක් රැස් කළේය. එහිදී මිලාන් රත්නායක ලකුණු 40ක් සහ කේශර නුවන්ත ලකුණු 30ක් ලබාගත් අතර, අංජල බණ්ඩාර ලකුණු 34ක් එක් කළේය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට තරමක තර්ජනයක් එල්ල කළ පාකිස්තාන පන්දු යවන්නන් අතරින් උබයිඩ් ෂා සහ ෂොයිබ් අක්තාර් කඩුලු 3 බැගින් දවාගත්හ. සකීබ් ඛාන් කඩුලු 2ක් දවාගත්තේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 254ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි.
පාකිස්තාන දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ටයියාබ් අරිෆ් පන්දු 31කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් රැස් කළේය. ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෆසාල් ලකුණු 21ක් ලබාගත්තේය.
පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 16ක් තුළ දවාගනිමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කේශර නුවන්ත ලකුණු 26කට කඩුලු 4ක් දවාගත් අතර, එශාන් මාලිංග ලකුණු 6කට කඩුලු 3ක් බිඳ හෙළීය. ඩිල්ෂාන් මදුශංක සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගත්හ.
පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හිරු උදාර සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කළ අතර, හිරු උදාර ලකුණු 65ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 66ක් ද රැස් කළහ. අංජල බණ්ඩාර නොදැවී ලකුණු 33ක් ලබාගත්තේය.
මෙම පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ට ද තරග රිද්මය ගොඩනඟා ගැනීමට අවස්ථාව සැලසුණු අතර, විශේෂයෙන්ම අවසන් ඉනිමේදී කේශර නුවන්ත සහ එශාන් මාලිංග දැක්වූ දක්ෂතා කැපී පෙනුණි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 9 වැනිදා රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 223 (පන්දුවාර 58) – ළහිරු උදාර 65, කුසල් මෙන්ඩිස් 66, අංජල බණ්ඩාර නොදැවී 33, සකීබ් ඛාන් 28/2, මොහොමඩ් සල්මාන් 52/2, අලි ෂබීර් 28/2.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුග්‍රාහක කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 151 (පන්දුවාර 47) – අසාන් අවයිස් 50, මොහොමඩ් ටහා 29, ටයියාබ් අරිෆ් 30, ලහිරු කුමාර 16/2, ඩිල්ෂාන් මදුශංක 32/2, මිලාන් රත්නායක 24/2.
ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 181 (පන්දුවාර 54.3) – සොනාල් දිනූෂ 22, අංජල බණ්ඩාර 34, මිලාන් රත්නායක 40, කේශර නුවන්ත 30, ෂොයිබ් අක්තාර් 26/3, සකීබ් ඛාන් 38/2, උබයිඩ් ෂා 18/3.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුග්‍රාහක කණ්ඩායම – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 111 (පන්දුවාර 27.1) – අබ්දුල්ලා ෆසාල් 21, ටයියාබ් අරිෆ් 32, කේශර නුවන්ත 26/4, එශාන් මාලිංග 06/3.





