ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (15) සමත් විය. පැපුවා නිව් ගිනියා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 67ක විශිෂ්ට ජයක් වාර්තා කළහ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි Seven Districts ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් පැපුවා නිව් ගිනියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 150ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පැපුවා නිව් ගිනියා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 83ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න පන්දු 48කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් රැස් කළාය. මෙම අර්ධ ශතකයත් සමඟින් ඇය සිය විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 1,000 සීමාව පසු කිරීමට ද සමත් වූවාය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඉමේෂා දුලානි සමඟ එක්ව පන්දු 48කදී ලකුණු 63ක සබඳතාවක් ගොඩනැගීමට ද විශ්මි සමත් වූවාය. ඉමේෂා පන්දු 21කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 32ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළාය.
ඊට අමතරව හසිනි පෙරේරා පන්දු 21කදී ලකුණු 20ක් ද, කවීෂා දිල්හාරි පන්දු 10කදී ලකුණු 14ක් ද ලබාගත්හ. නායිකා හර්ෂිතා සමරවික්‍රමගේ ඉනිම ලකුණු 8කට සීමා වූ අතර, අවසන් පන්දුවාර කිහිපයේදී නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 13ක් සහ කෞෂිනී නුත්‍යාංගනා නොදැවී ලකුණු 10ක් රැස් කළහ.
පැපුවා නිව් ගිනියා පන්දු යැවීමේදී නවොනි වෙරා ලකුණු 17කට කඩුලු 3ක් දවාගනිමින් කැපී පෙනුණාය.
ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය පැපුවා නිව් ගිනියා කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවීය. ඔවුන් වෙනුවෙන් පවුකේ සයිකා පන්දු 25කදී ලකුණු 25ක් රැස් කළ අතර, වෙරා ලකුණු 15ක් සහ නායිකා බ්‍රෙන්ඩා ටාවු ලකුණු 15ක් ලබාගත්හ.
ශ්‍රී ලංකා පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි සහ සත්‍යා සංදීපනී කඩුලු දෙක බැගින් දවාගත්හ. නිමේෂා මීපගේ, නිලක්ෂිකා සිල්වා සහ කවීෂා දිල්හාරි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට ක්‍රීඩා කළ චේතනා විමුක්ති වෙනුවට මල්කි මදාරා කැඳවමින් එක්ව තිබුණි.
මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ තමන් සහභාගී වූ තරග තුනම ජයගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය අපරාජිත ගමන තවදුරටත් ඉදිරියට ගෙන ගියහ. ඔවුන්ගේ මීළඟ තරගය හෙට (16) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පස්වරු 2.45ට අජ්මාන්හි පැවැත්වීමට නියමිතය.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 150/5 (පන්දුවාර 20)
විශ්මි ගුණරත්න 51, ඉමේෂා දුලානි 32, හසිනි පෙරේරා 20, කවීෂා දිල්හාරි 14, නිලක්ෂිකා සිල්වා නොදැවී 13, කෞෂිනී නුත්‍යාංගනා නොදැවී 10, නවොනි වෙරා 3/17.
පැපුවා නිව් ගිනියා කාන්තා කණ්ඩායම – 83/9 (පන්දුවාර 20)
පුකෙ සයිකා 25, නයොනි වෙරා15, බ්‍රෙන්ඩා ටෙරා 15, සත්‍යා සංදීපනී 2/15, සුගන්දිකා කුමාරි 2/10.
ප්‍රතිඵලය – ශ්‍රී ලංකාවට ලකුණු 67ක ජයක්.
තරගයේ වීරයා – විශ්මි ගුණරත්න (ශ්‍රී ලංකාව)





