slc
logo
Home   |    News
නොවැම්බර් 7, 2026
සෙනුජගේ සටන්කාමී ඉනිම අපතේ යයි

sinhala editor

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ අද (7) ඕමානයේ අල් අමරට්හිදී පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 246ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46.1කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200ක් පමණි.

ලකුණු 246ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක නොවීය. නායක විරාන් චමුදිත ලකුණු 12කට දැවී ගිය අතර රෙහාන් පීරිස් සහ සෙනුජ වැකුණගොඩ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සම්බන්ධතාවක් ගොඩනැඟූහ. එහෙත් ලකුණු 62දී රෙහාන් පීරිස් ලකුණු 19කට දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමට යළිත් පීඩනයක් එල්ල විය.

තෙවැනි කඩුල්ල ලෙස කිත්ම විතානපතිරණ ලකුණු 5කට දැවී ගියද සෙනුජ වැකුණගොඩ සමඟ එක්වූ ගිම්හාන් රසාංජන ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීමට උත්සාහ කළේය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සම්බන්ධතාවක් ගොඩනැඟුණු අතර ගිම්හාන් ලකුණු 16කට දැවී ගියේය.

එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී අනෙක් අන්තයේ ස්ථාවරව පන්දුවට පහරදුන් සෙනුජ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තු රඳවා ගැනීමට සමත් විය. පන්දු 95කට මුහුණ දුන් ඔහු හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 85ක් රැස් කළේය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 158ක්ව තිබියදී සෙනුජා දැවී යෑමත් සමඟ තරගයේ වාසිය තවදුරටත් බංග්ලාදේශය දෙසට හැරුණි.

ඉන් අනතුරුව ලිත්මා පෙරේරා ලකුණු 19ක් සහ චනිරු සේනාරත්න ලකුණු 13ක් ලබාගත්තද ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ලකුණු වේගය පවත්වා ගැනීමට නොහැකි විය. අවසන් කඩුලු කිහිපය ද ඉක්මනින් බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 46.1කදී ලකුණු 200කට සීමා විය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අහ්සාන් අල් මුමින් සහ එස්.කේ. ජාරිෆ් සියම් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූහ. ආරම්භක පිතිකරු අබ්දුල්ලා අල් මුහි පන්දු 25කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 30ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන්නේය.

අනතුරුව ජාරිෆ් සියම් සහ අහ්සාන් අල් මුමින් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් වැදගත් ලකුණු සම්බන්ධතාවක් ගොඩනැඟූහ. ජාරිෆ් පන්දු 83කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 59ක් ලබාගත් අතර අහ්සාන් අල් මුමින් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 82ක් රැස් කළේය.

බංග්ලාදේශ ඉනිමේ මැද භාගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයට අවතීර්ණ වෙමින් කඩුලු දවා ගැනීමට සමත් වුවද අහ්සාන්ගේ ඉනිම හේතුවෙන් බංග්ලාදේශයට තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි විය. අවසන් පිතිකරුවන් කිහිපදෙනාගෙන් ද ලැබුණු දායකත්වයත් සමඟ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49.4කදී ලකුණු 245ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී සෙත්මික සෙනෙවිරත්න විශිෂ්ට දස්කම් දක්වමින් පන්දුවාර 9.4කදී ලකුණු 52කට කඩුලු 4ක් දවාගත්තේය. ගිම්හාන් මෙන්ඩිස් පන්දුවාර 10කදී ලකුණු 55කට කඩුලු 3ක් දවාගත් අතර කෞෂික කුමාරසිංහ ලකුණු 40කට කඩුලු 2ක් බිඳ හෙළීය.

කෙසේ වෙතත්, පිතිකරණයේදී සෙනුජ වැකුණගොඩගෙන් ලැබුණු විශිෂ්ට දායකත්වයට අනෙක් පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධාන හේතුවක් විය. ඒ අනුව බංග්ලාදේශය මෙම තරගය ලකුණු 45කින් ජය ගැනීමට සමත් විය.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 245 (පන්දුවාර 49.4) – අහ්සාන් අල් මුමින් 82, එස්.කේ. ජාරිෆ් සියම් 59, අබ්දුල්ලා අල් මුහි 30, ෆරීඩ් හසන් 17, රොබියුල් හසන් අනීක් 15, අලමින් හොසේන් රෝනි 13, රකිබුල් හොසේන් 11, පන්දු යැවීම – සෙත්මික සෙනෙවිරත්න 52/4, ගිම්හාන් මෙන්ඩිස් 55/3, කෞෂික කුමාරසිංහ 40/2.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 200 (පන්දුවාර 46.1) – සෙනුජ වැකුණගොඩ 85, රෙහාන් පීරිස් 19, ලිත්මා පෙරේරා 19, ගිම්හාන් රසාංජන 16, චනිරු සේනාරත්න 13, විරාන් චමුදිත 12, කෞෂික කුමාරසිංහ 9. පන්දු යැවීම – ටෆියුල් අලාම් තමීම් 33/2, ෂෙයික් අටිකුර් රහ්මාන් 28/2, රුබේ ඉස්ලාම් රිසොන් 42/2, රොබියුල් හසන් අනීක් 35/2.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee