slc
logo
Home   |    News
අගෝස්තු 16, 2019
නවසීලන්තය ලකුණු 177 කින් පෙරමුණට

Sri Lanka Cricket

චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට

ලකුණු 18 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායමේ ලකුණු 124 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් 6 දෙනෙකුම දවා ගනිමින් සමස්ථ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සමත් වුවත් ධෛර්යවන්ත පිති හරඹයක නිරත වූ බී.ජේ. වොට්ලින් ගිලිහී ගිය තරගයේ වැඩි වාසි නවසීලන්ත පිල වෙත යළි රැගෙන ඒමට අද (16 දා) සමත්වූවේය.

දිනයේ යැවීමට තවත් පන්දුවාර 6 ක් ඉතිරිව තිබියදී අඳුරු කාලගුණය මත තෙවැනි දිනට තරගය නිමා කිරීමට විනිසුරුවන් කටයුතු කරන විට නවසීලන්ත ලකුණු පුවරුව කඩුලු 7 කට ලකුණු 195 ක් ලෙසින් සටහන්ව තිබිණ. ඒ අනුව නවසීළන්ත කණ්ඩායම දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 177 කින් ඉදිරියේ සිටින්නේ තවත් කඩුලු 3ක් අත ඉතිරිවය.

තේ පානය වන විට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පාලනයේ තිබූ තරගය මුළුමනින්ම උදුරා ගත් සම්බන්ධතාවය ලෙසින් වොට්ලින් සහ ටිම් සවුති අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 54 ක සම්බන්ධතාවය හැඳින්විය හැක.

තියුණු දඟ කැවීමකට අමතරව ඉපිලීමක් සහිත තණතීරුවේදී පිති හැසිර වූ නවසීලන්ත කඩුලු රකින්නා, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේ මුහුණ දුන් 120 වැනි පන්දුවේදීය. දිනය අවසානයේදී ලකුණු 63 ක් ලබා සිටින වොට්ලින්ගේ සටන්කාමී පිති හරඹය නොවන්නට මෙම තරගය හාත්පසින්ම වෙනම කතාවක් වන්නට ඉඩ තිබුණි. දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වූ ලසිත් ඇඹුල්දෙණිය, කරකවා අතහරින ලද නවසීලන්ත පිතිකරුවන් අතරේ අන්තිමයා වූ ටිම් සවුති සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට යෑමේදී ස්ටම්ප් කිරීමකට හසුව ලකුණු 23 කට පිටියෙන් ඉවත් විය.

නවසීලන්ත දෙවැනි ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 08 කට සීමා කිරීමට ධනංජය ද සිල්වා සමත්වූවේය. නවසීලන්ත පිල වෙනුවෙන් දැවී ගිය පිතිකරුවා බවට පත්වූ ජීත් රවාල් ලකුණු 04 ක් ලබා සිටියදී සිලි මිඩි ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි නායක දිමුත් කරුණාරත්නට උඩ පන්දුවක් දී දැවී ගියේය. තියුණු දඟ කැවීමක් නොතිබුණු පන්දුවට ඩ්‍රයිව් පහරක් එල්ල කළද නොසිතූ ලෙස එම පන්දුව ඉපිලීම නිසා එය උඩ පන්දුවක් බවට පරිවර්තනය විය.

නවසීලන්ත ඉනිමේ කඩා වැටීම ඇරඹුනේ දිවා ආහාරයෙන් අනතුරුවය. දිවා ආහාරයත් පසු ක්‍රියාත්මක වූ ලසිත් ඇඹුල්දෙණිය ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ තේ පානය වන විට තවත් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 106 ක් පමණක් ලබා දෙමිනි. පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිටම ලකුණු රැස් කිරීමට උදාසීනත්වයක් දැක්වූ නවසීලන්ත නායක කේන් විලියම්සන් අද දිනයේදීද ලබා ගත්තේ ලකුණු 04 ක් පමණි.  විලියම්සන්ගේ දැවී යෑමෙන් ලකුණු 05 ක් ලකුණු පුවරුවට එක් වද්දී පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රොස් ටේලර්වද ආපසු හරවා යැවීමට ඇඹුල්දෙණිය සමත්වූවේය. ඒ ස්ලිප් ස්ථානයේ පන්දු රැකි ධලංජය ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 7 ම දඟ පන්දු යවන්නන් තිදෙනා අතර බෙදී ගිය අතර එහි වැඩි ගෞරවය වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණියට හිමිවිය. නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් යවන ලද පන්දුවාර 76 න් තුනෙන් පංගුවකටත් වඩා (29) වැඩියෙන් යැවූ ලසිත් ලකුණු 71 කට කඩුලු 4 ක් දවා ගත්තේය. ධනංජයගේ නම ඉදිරියෙන් කඩුලු 2 ක් වාර්තා වද්දී පළමු ඉනිමේ කඩුලු 5 ක් දවා ගත් අකිල, නවසීලන්ත ඉනිම වෙනුවෙන් දෙවැනියට වැඩිම ලකුණු ලද ටොම් ලතම්ගේ (45) කඩුල්ල දවා ගත්තේය.

පෙ.ව. 9.45 ට ආරම්භ වුණු තෙවැනි දින ආරම්භයේදීම නව පන්දුව ලබා ගනිමින් තරග වැදීමට නවසීලන්ත පිල තීරණය කළ මුත් පෙර දිනයේ ලකුණු 66 ක් ව සටහන්ව තිබූ 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ හෙළිමට ඔවුනට තවත් ලකුණු 15 ක් ලකුණු පුවරුවට එක් වන තෙක් ඉවසාගෙන සිටීමට සිදුවිය.

පන්දු 173 කදී දික්වැල්ල සහ ලක්මාල් අතර ගොඩ නැංවුණු ලකුණු 81 ක සම්බන්ධතාව පළමු ඉනිම තුළ වාර්තා වුණු ඉහළම සම්බන්ධතාව බවට පත්විය. ට්‍රෙන්ට් බෝල්ට් විසින් යොමු කරන ලද පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට යෑමේදී එය ලක්මාල්ගේ දකුණත වැළ මිට ආසන්නයේ වැදීම නිසා මිනිත්තු කීපයක්ම තරගය නතර කර දැමීමට විනිසුරුවන් ට සිදුවිය. එහෙත් එම පන්දුවාරයේදීම කඩුල්ලට තරමක් ඈතින් ඇදී ගිය පන්දුවට එල්ල කරන ලද පහරක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල බිඳී යෑම නිසා ලක්මාල්ගේ ඉනිම ලකුණු 40 දී නැවතිණ. දැවී යෑමට ප්‍රථම බෝල්ට් ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කරමින් ලබා ගත් හයේ පහරද ඇතුළුව තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 ක් ලක්මාල් එල්ල කර තිබුණි.

ලක්මාල් දැවී ගියද තම අන්තය ආරක්ෂා කරගත් නිරෝෂන් දික්වැල්ල සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වැනි අර්ධ ශතකය වාර්තා කර ගන්නා ලද්දේ මුහුණ දුන් 95 වැනි පන්දුවේදීය.  පිතිකරුවකු ලෙස අසාර්ථක වීම මත ඉකුත් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම බංග්ලාදේශය සමඟ වූ එක්දින තරගාවලියටද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ දික්වැල්ල නවසීලන්ත ඉනිම අභිබවා යෑමට වැඩිම කාර්ය භාරයක් කරන ලද පිතිකරුවා බවට පත්වූවේය. ලකුණු 61 දී අවසන් වුණු දික්වැල්ලගේ ඉනිම සඳහා හේ පන්දු 109 කට මුහුණ දී තිබුණේ හතරේ පහර 3 ක්ද තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. දික්වැල්ලගේ මෙම සුවිශේෂී ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවට නවසීලන්ත පළමු ඉනිම අභිබවා යෑම සිහිනයක් වන්නට තිබිණ.

මෙම තරගයේදී නවසීලන්ත පළමු ඉනිම ඉක්මවා යෑමට ශ්‍රී ලංකා පිල සමත්වීමත් සමඟ වසර 5 කට ආසන්න කාලයකින් පසු දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායමක් පළමු ඉනිමේ වාසිය අතට ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මීට පෙර එවැනි අවස්ථාවක් සටහන් වී ඇත්තේ ඉකුත් 2015 වසරේ පැවැති ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේදීය.

දෙවැනි දින අවසනදී කඩුලු 5 ක් දවා ගෙන සිටි අජාස් පටෙල්ට අද දිනයේදී එකම හෝ කඩුල්ලක් දවා ගැනීමේ අවස්ථාව අහිමි වූ නමුත්, විලියම් සමර් විල් කඩුලු 3 ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 ක් වශයෙන් දවා ගත්හ.

ලකුණු සාරාංශය – නවසීලන්තය පන්දුවාර 83.2කදී සියළු දෙනා දැවී ලකුණු 249 (රොස් ටේලර් 86, හෙන්ර් නිකලස් 42, ජීත් රාවල් 33, ටොම් ලේතම් 30, ට්‍රෙන්ට් බෝල්ට් 18, ටිම් සවුති 14, මිචෙල් සෑන්ට්නර් 13, විලයම් සමර්විල් (නොදැවී 09), බී. ජේ. වොට්ලින් 1, කේන් විලියම්සන් 0, අජාස් පටෙල් 0, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4) සහ දෙවැනි ඉනිම පන්දුවාර 76 කදී 195/7 යි – (බී.ජේ. වොට්ලින් 63, ටොම් ලතම් 45, හෙන්රි නිකල්ස් 26, ටිම් සවුති 23, විලියම් සමර්විල් (නොදැවී) 05, ජීත් රවාල් 04, කේන් විලියම්සන් 04, රොස් ටේලර් 03, මිචෙල් සැන්ට්නර් 12, ලසිත් ඇඹුල්දෙණිය 71/3, ධනංජය ද සිල්වා 16/2, අකිල ධනංජය 56/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 93.2 කදී ලකුණු 267 යි (කුසල් මෙන්ඩිස් 53, ඇන්ජලෝ මැතිව්ස් 50, දිමුත් කරුණාරත්න 39, ළහිරු තිරිමාන්න 10, කුසල් පෙරේරා 01, ධනංජය ද සිල්වා 05, නිරෝෂන් දික්වැල්ල 61, අකිල ධනංජය 00, සුරංග ලක්මාල් 40, ලසිත් ඇරඹුල්දෙණිය 05, ළහිරු කුමාර (නොදැවී 05,  අජාස් පටෙල් 89/5 යි, විලියම් සමර්විල් 83/3, ට්‍රෙන්ට් බෝල්ට් 45/2)

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar