කමිල් මිෂාර පන්දු 55කින් නොදැවී ලබාගත් නොබිඳුණු ලකුණු 108 ක ඉනිමත් තව්හීද් රිදෝයි පන්දු 21 කින් නොදැවී වාර්තා කරන ලද ලකුණු 5 4ක ඉනිමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 14 ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කන්ඩායම අදාළ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (5) පැවැති මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් නායක භානුක රාජපක්ෂට පිත්ත රැගෙන පිටියට පිවිසීමට අවස්ථාවක් නොලැබුණද, ඔහු රැකගත් විශිෂ්ට උඩපන්දු දෙකම ගෝල් ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ දැමූ තීරණාත්මක අවස්ථා බවට පත්විය.
මෙම ජයත් සමඟ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට පිවිසි අතර, පරාජයට පත් වූ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට තවදුරටත් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාවක් ඉතිරිව තිබේ. ඒ, කැන්ඩි රෝයල්ස් සහ කලම්බු කැප්ස් අතර පැවැත්වෙන එලිමිනේටර් තරගයේ ජයග්‍රාහකයන් සමඟ පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට එක්වීමෙනි.
ඕවර 40 තුළ දෙපිල එක්ව ලකුණු 470ක් රැස් කළ මෙම තරගය මුළුමනින්ම පිතිකරුවන්ගේ ආධිපත්‍යයෙන් යුක්ත විය. දෙපිලේ පිතිකරුවන් එක්ව හයේ පහර 30ක් එල්ල කළද, ප්‍රේක්ෂකාගාරයට ගිය කිසිදු හයේ පහරක් උඩපන්දුවක් ලෙස රැක ගැනීමට කිසිදු ප්‍රේක්ෂකයකුට නොහැකි විය.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු ලකුණු 242 ක් රැස් කරමින් එල්.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සටහන් කළේය. අද දිනයේදී ඔවුන් විසින් බිඳ දැමුවේ 2022 වසරේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ඔවුන්ම පිහිටුවා තිබූ ලකුණු 240ක වාර්තාවයි.
කාසියේ වාසිය දිනාගත් ගාල්ල නායක දසුන් ශානක මුලින්ම පන්දු යැවීමට තීරණය කළද, දෙවැනි ඕවරයේ සිටම ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ කමිල් මිෂාර පන්දු 31කින් අර්ධ ශතකය වාර්තා කළේය. පන්දු 49කින් ශතකය සම්පූර්ණ කළ මිෂාර, අවසානයේ පන්දු 55කින් හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 108ක් රැස් කළේය. කමිල් මිෂාරගේ මෙම අපරාජිත ශතකය ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ඉතිහාසයේ වාර්තා වූ 12 වැනි ශතකය ලෙස ඉතිහාසයට එක්විය. එම ඉනිම ඔහුගේ පළමු LPL ශතකය මෙන්ම පළමු විස්සයි20 ශතකයද වූහ.
මිෂාර සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් කවාජා නෆී ලකුණු 138ක සම්බන්ධතාවක් ගොඩනැගීය. නෆී පන්දු 32කින් ලකුණු 54ක් රැස් කළ අතර, තෙවැනි කඩුල්ල වෙනුවෙන් මිෂාර හා තව්හීද් රිදෝයි පන්දු 27කදී අපරාජිත ලකුණු 69ක සම්බන්ධතාවක් එක් කළහ. රිදෝයි පන්දු 20කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟ පන්දු 21කදී නොදැවී ලකුණු 54ක් වාර්තා කළේය.
ලකුණු 243ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමද ආරම්භයේ සිටම ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ අතර, පළමු ඕවර 6 අවසන් වන විට කඩුලු 2කට ලකුණු 81ක් රැස් කර තිබිණි.
සෑම් හාපර් පන්දු 21කින් ලකුණු 44ක්ද, චරිත් අසලංක පන්දු 13කින් ලකුණු 27ක්ද රැස් කළ අතර, චාමික කරුණාරත්න (39) සහ දසුන් ශානක (34) පස්වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු සම්බන්ධතාවක් ගොඩනැගූහ. ඕවර 13 අවසානයේ කඩුලු 4කට ලකුණු 153ක් ලබා සිටි ගාල්ල තරගයේ දැඩි තරගකාරී තත්ත්වයක පසුවිය.
කෙසේ වෙතත්, බැක්වර්ඩ් පොයින්ට් කලාපයේදී භානුක රාජපක්ෂ රැකගත් විශිෂ්ට උඩපන්දුවකින් චාමික කරුණාරත්න දැවී යාම තරගයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය. ඉන් අනතුරුව මොහොමඩ් ෂිරාස්ගේ (4-0-32-3) නිරවද්‍ය පන්දු යැවීම සහ ලිසාඩ් විලියම්ස්ගේ (4-0-39-2) සහයෝගය හේතුවෙන් ගාල්ලේ මැදපෙළ ඉක්මනින් බිඳ වැටිණි.
අවසන් ඕවර කිහිපයේදී දිනුර කළුපහන නොදැවී ලකුණු 22ක් සහ සචිඳු කොළඹගේ පන්දු 9කින් නොදැවී ලකුණු 27ක් රැස් කරමින් ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් දියත් කළද, ගාල්ලට ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 228ක් පමණක් රැස් කර ගැනීමට හැකි වූ අතර, ජැෆ්නා කිංග්ස් ලකුණු 14ක ජයක් සමඟ අවසන් මහා තරගයේ ස්ථානය වෙන්කර ගත්තේය.
කමිල් මිෂාර තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ සිය අපරාජිත ශතකයට අමතරව උඩපන්දු දෙකක්ද රැක ගනිමිනි.
ලකුණු සාරාංශය
ජැෆ්නා කිංග්ස් – ඕවර 20කදී කඩුලු 2ට ලකුණු 242
කමිල් මිෂාර නොදැවී 108, කවාජා නෆී 54, තව්හීද් රිදෝයි නොදැවී 54, අවිශ්ක ප්‍රනාන්දු 19.
ගාල්ල ගැලන්ට්ස් – ඕවර 20කදී කඩුලු 8ට ලකුණු 228
සෑම් හාපර් 44, චාමික කරුණාරත්න 39, දසුන් ශානක 34, චරිත් අසලංක 27, සචිඳු කොළඹගේ නොදැවී 27, දිනුර කළුපහන නොදැවී 22, මොහොමඩ් ෂිරාස් 32/3, ලිසාඩ් විලියම්ස් 39/2.




