slc
logo
Home   |    News
අගෝස්තු 27, 2019
‘නිදහසේ ක්‍රීඩා කරනවා කියන්නේ විකට් එක වීසි කරන එක නොවෙයි’ පරාජය ගැන දිමුත් කරුණාරත්න කතා කරයි

Sri Lanka Cricket

‘අදහස් එලෙසින්’

නවසීලන්තය අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65 ක පරාජයකට ශ්‍රී ලංකා පිල මුහුණ දීමෙන්  පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු පහත පරිදි වේ.

තණතීරුවේ හැසිරීම ගැන හිතන්නේ කොහොමද…?

අපි දැනගෙන හිටියා මේක ගාල්ල තරගය වගේ ලේසි වෙන්නේ නෑ කියලා. තණතීරුව හොඳ නිසා තමයි අපි කාසියේ වාසිය දිනලා පන්දුවට පහර දුන්නේ. අපේ පිතිකරුවෝ ඔක්කොම හිතුවේ මේක පිතිකරුවන්ට හොඳ වෙයි කියලා. ඒත් අපි එල්ල කරපු පහරවල් හරිගියේ නෑ. මම ගත්තත් ලකුණු 65 ක් ලබා සිටිද්දී එල්ල කරපු පහරත් ඉක්මන්  පහරක්.  අපිට මේ තණතීරුවේ ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න තිබ්බා. නවසීලන්ත පිතිකරුවන් ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා. ඔවුන් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කරලා අපිව පීඩනයට ලක් කළා. අපි මේ තරගයට ක්‍රීඩා කළේ පිතිකරුවන් 6 දෙනෙක්ගෙන්. එතැනිදි ධනංජය ලකුණු 100 ක් ගත්තා මම ලකුණු 65 ක් ගත්තා. මෙන්ඩිස් ලබා ගත්ත ලකුණු 30 ඇරෙන්න අනිත් අයට ලකුණු අතරට පැමිණීඹට නොහැකි වුණා. අපි මීට වඩා හොඳට පහර එල්ල කළා නම් මීට වඩා ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න තිබුණා.

නවසීලන්ත ඉනිමේ ඉදිරි පිතිකරුවන් තිදෙනා ඉක්මනින් දැවී ගියත් ඔවුන් ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා ගියා. ඒ ගැන අදහස…?

මං හිතන්නේ ඔවුන්ගේ හොඳම පිතිකරුවන් තුන්දෙනාව අපි දවා ගත්තට පස්සේ හිතුවේ ගොඩක් ලේසි වෙයි කියලා. ඒත් එයාලා ගොඩක් හොඳට බැට් කළා. ඒ වගේම අව්ව වැටිලා විකට් එක පොඩ්ඩක් වේලන්නත් ගත්තා. ඒකත් එක්කම විකට් එකේ තිබුණු තෙතමනයත් නැති වුණා. එහෙම වුණාම පන්දුව දෝලනය වීම සහ දඟ කැවීම අඩු වුණා. අපි හොඳ ස්ථානවල පන්දුව පතිත කරා නම් මීට වඩා තදට බෝල් කරා නම්  අපිට මීට වඩා හොඳට පන්දු යවන්න තිබ්බා කියලා මම හිතනවා. නවසීලන්ත පන්දු යවන්නන් හුඟක් හොඳට පන්දු යැව්වා. ඔවුන් ගොඩක් වෙලාවට එක පැත්තක දාගෙන අපේ ලකුණු හිර කළා. අපේ පන්දු යවන්නන් අතරින් සුරංග සහ ඩිල්රුවන් හැරුණාම අනිත් දෙන්නටම අත්දැකීම් මදි. කොහොමද එක පැත්තකට ෆීල්ඩ් එකක් දාගෙන බෝල් කරන්නේ කියලා ඔවුන් ඉගෙන ගතයුතුයි. අපි හොඳ රටවල් සමඟ ක්‍රීඩා කරනවා නම් මෙන්න මේ වගේ දේවල් ඉගෙන ගන්න ඕන. මොකද  ලකුණු යන්න යන්න අනිත් පැත්තෙන් එන පීඩනය වැඩියි. පන්දු යැවීමේදී අපි මීට වඩා හොඳන් කරන්න ඕන.

ඔබ නිතරම ක්‍රීඩකයින්ගේ නිදහස ගැන කතා කරන නායකයෙක්.  ඒ ලබා දීලා තියෙන නිදහස ගැන ඉදිරියදි මීට වඩා හිතනවද…?

නිදහස දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ එතනට ගිහිල්ලා ගහගෙන ගහගෙන යන එක නොවෙයි. මං හිතන්නේ තමන්ගේ මයින්ඩ් එක නිදහසේ තියාගෙන ගහන්නේ කොහොමද කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. අපි මෙහෙම හිතුවොත්. තරගයකදී රිවර්ස් ස්වීප් ගහන්න වෙනවා කියලා අපි දැන දැනත් ඒ පහර ගහන්නේ නැතුව ඉන්නවා කියන්නේ අපි ඒක හිරකරගෙන ඉන්නවා කියන එක.  ඒ ෂොට් එකෙන් අපිට ලකුණු ගන්නත් පුළුවන්. ඒ වගේම ඒක ආරක්ෂිත පහරක් කියලත් භාවිතා කරන්න පුලුවන්.

අපි මනස රිලැක්ස් කරගෙන ගහන්න ඕන. ගිහිල්ලා හැම බෝලෙටම ගහන එක නොවෙයි මං නිදහස කියලා අදහස් කරන්නේ. එයාලගේ විශ්වාසය මත ගහන්න කියන එකයි.  කකුල් භාවිතා කරලා ෆීල්ඩ් එකට උඩින් ගහන්න පුලුවන් නම් ඒක ගහන එක එයාලගෙ වැඩක්. ඉතිං මං හිතන්නනේ ඒ මම දීලා තියෙන අවස්ථාවෙන් එයාලා දැන ගන්න ඕන ප්‍රයෝජනය ගන්න. සමහර තැන් වලදී මං හිතනවා අපේ ගොඩක් ක්‍රීඩකයින්ගේ ඉවසීම මදි වුණා කියලා. ඉතිං අපි සලකලා බලන්න ඕන ඉදිරි තරගාවලියෙදි මොකද කරන්නේ කියලා. නිදහස දීළත් අපිට ක්‍රීඩකයින්ගෙන් ගොඩක් දේ ගන්න බෑ කියන්නේ ඒ ගැන ඉදිරියේදී සලකලා බලන්න ඕන. මොකද ටෙස්ට් මැච් එකක් කියන්නේ ගොඩක් වටින දෙයක්. තමන් දැන ගන්න ඕන අවස්ථාවේ විදියට සෙල්ලම් කරන්න. ඒ වගේම දීලා තියෙන නිදහස හැන්ඩ්ල් කරගන්නේ කොහොමද කියන එකත් එයාලා දැන ගන්න ඕන. කඩුලු 5 ක් දැවී ගිහිල්ලා තිබුණත් මම නිදහසේ මගේ පහරවල් ටික ගැහුවා. එහෙම නැතුව මම එතනට ගිහිල්ලා ආරක්ෂා වෙන්න හැදුවේ නෑ. මං දන්නවා මම එහෙම සෙල්ලම් කළොත් තමයි මට අවුට් වෙන්නේ නැතිව ක්‍රීඪා කරන්න පුලුවන් කියලා. ඉතිං එහෙම ක්‍රීඩා කරන්න තමයි මම ක්‍රීඩකයින්ට නිදහස දීලා තියෙන්නේ. එතැනදි ඕනවට වඩා හිතලා සෙල්ලම් කරන්න හොඳ නෑ. නිදහසේ පන්දුවට පහර දිය යුතුයි. හැබැයි ඒකෙන් කියන්නේ කඩුල්ල විසික් කරලා එන්න කියන එක නොවෙයි.

ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන්නේ ගොඩක්ම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලි. හොද තරග 2කින් සමන්විත තරගාවලිද නැත්නම් 3 කින් සමන්විත තරගාවලිද…?

මං නම් කැමැති තරග වැඩිපුර ක්‍රීඩා කරන්න. මොකද තරග 2 කින් ක්‍රීඩකයෙක් වුණත් මනින්න හරි අමාරුයි.  කිව්වා වගේ එක සීරීස් එකක් තරග 3 ක් තිබ්බ නම් මේ වගේ තරගාවලියකදී ඊළඟ මැච් එකේදි වැරදි හදාගෙන එන්න අවස්ථාව තියෙනවා. බැලුවොත් නවසීලන්ත කණ්ඩායම පළවැනි තරගයට වඩා හාත්පසින්ම වෙනස්වයි මේ තරගයට ක්‍රීඩාකළේ. ඔවුන් ගොඩක් ධනාත්මක විදියට ක්‍රීඩා කළා. ඔවුන්ගේ හැම ක්‍රීඩකයෙක්ම හොඳ ආරම්භයක් ගත්තා. ඒවා එයාලා හදාගත්තා. පළවැනි මැච් එකේ අපි කරපු වැරදි වලට වඩා වැරදි අපි මේ තරගයේදී කළා. මං හිතන්නේ තව තරගයක් තිබ්බා නම් අපිට ඒ වැරදි කතා හදාගන්න පුලුවන් කම තියෙනවා. මං හිතන්නේ අවාසනාවට අපිට ඒ අවස්ථාව නෑ. පාකිස්තානයත් එක්ක ඊලඟ තරගාවලියෙත් ටෙස්ට් තරග 2 ක් තියෙන්නේ. ක්‍රීඩකයින් විදියට සෙට්ල් වෙන්නත් වැඩිපුරට ටෙස්ට් තරග ක්‍රීඩා කරන එක ගොඩක් හොඳයි කියලා මම විශ්වාස කරනවා.

තෙවැනි දිනයේදී ඔබ පන්දු රැකීමට පැමිණියේ නෑ. ඒ දවසේ අපි දවා ගනු ලැබුවෙත් එක කඩුල්ලයි. මොන වගේ දේවල්ද ඔබ එළියේ ඉන්නකොට හදාගත යුතුයි කියලා…?

විකට් එකේ අපි දැක්කොත් එහෙම අපි පන්දුවට පහර දෙන අවස්ථාවේදි, පළමු ඉනිමේදී විකට් එකේ යන්නේ නැති වුණාම එයාල කළේ හොඳ ස්ථානවල බෝල් කරලා අපේ අතින් මිස්ටේක්ස් කරගන්න හැදුවා. එක පැත්තක ෆීල්ඩ් එක දාලා අපේ ඉවසන්නේ කොහොමද කියලා ඔවුන් බැලුවා. අපි ටෙස්ට් ක්‍රිකට් එකට උචිතද නැද්ද කියලත් ඔවුන් බැළුවා. එක වෙලාවක ඒ වගේම අපිටත් කරන්න තිබ්බා කියලා මට හිතුණා. මොකද විකට් එක අවුවත් එක්ක ඔවුන්ගේ වාසියට හිටියා. ඒ වෙලාවේදි පන්දුවට පහර දුන් පිතිකරුවන් දෙන්නාව දවාගන්න අවස්ථාවක් නිර්මාණය කරගන්න තිබ්බා කියලා. එහෙම වුණා නම් මං හිතනවා අපිට ලකුණුත් අඩු කරගන්න තිබ්බා කියලා.

ඇන්ජි (ඇන්ජලෝ මැතිව්ස්) ගොඩක් හොඳ නායකයෙක්. කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා. ඔහු දන්නවා ඒ වෙලාවේ හැටියට මොනවද කරන්න ඕන කියලා. මට වඩා ඇන්ජි තමයි එතන හිටියේ. මං හිතනවා ඇන්ජි ගත්ත සමහර තීරණ හරි කියලා. නමුත් මට එළියෙදි පෙනුන දෙයක් තමයි අපේ පන්දු යවන්නෝ තව ටිකක් හිතලා පන්දු යවන්න තිබ්බා කියලා.

කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් අසාර්ථක වුණා. බැලුවොත් කුසල් ජනිත් ඉනිම දෙකේදීම බිංදුවට දැවී ගියා.තිරිමාන්නත් එහෙමයි. මේ වගේ අවස්ථාවකදී නායකයකු කොයි වගේ පීඩනයකටද මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ…?

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අසාර්ථක වීම කණ්ඩායමට ලොකුවට ම බලපානවා. මොකද පිතිකරුවෝ විදියට 6 දෙනයි ක්‍රිඩා කරන්නේ. ඉතිං ඒ අතරින් ජ්‍යෙෂ්ඨම පිතිකරුවෝ තුන් දෙනෙක් ඉනිම දෙකේදීම අසාර්ථක වෙනවා කියන්නේ ලොකු බලපෑමක්. මං හිතන්නේ කවුරුත් ඕන කමින් ෆේල් වෙන්නේ නෑ. නමුත් මට හිතෙනවා සමහර තැන් වල අපි ගත්ත තීරණ වැරදියි කියලා. අපි බැලුවොත් තිරිමාන්නගේ රන් අවුට් එක ඒ වෙලාවේ අනවශ්‍ය දෙයක්. ඒ වගේම කුසල් ජනිත් එල්ල කරපු පහර. මොකද අපි රන්ස් හඹා යන්නේ නැති,විකට් එකේ රැදී ඉන්න ඕන වෙලාවක මං හිතන්නේ නෑ ඒ වෙලාවේ කරපු දේ හරියි කියලා. මං හිතනවා ඔවුන් ඒ දේවල් වලින් දෙයක් ඉගෙන ගනියි කියලා. ක්‍රීඩා කරන හැම තරගයකදීම දේවල් ඉගෙන ගන්න ඕන. මින් ඉදිරියට ඒ වගේ දේවල් නොවුණොත් මං හිතනවා හොඳයි කියලා. කිව්වා වගේ ජ්‍යෙෂ්ඨයින් අසාර්ථක වුණොත් නායකයට ගොඩක් අමාරුයි තරගයක් හසුරුවන්න.

සිව්වැනි දිනය ආරම්භයේදී තිබුණ සැලසුම කොයි වගේද…?

අපේ සැලසුම වෙලා තිබුණේ ලකුණු අඩුවෙන් ලබා දීලා ඔවුන්ව හැකි ඉක්මනින් දවා ගන්න. නමුත් ඔවුන් හොඳට පන්දුවට පහර දීම නිසා ඔවුන්ගේ සැලසුම් ඉතා සාර්ථක වුණා. ඔවුන්ට නැති වෙන්න දෙයක් තිබුණේ නෑ. ඔවුන්ට සතුව ලකුණු පුවරුවේ ලකුණු තිබුණා. ඒ වගේම අපේ පිතිකරුවන් පළවැනි වාරයේදී අසාර්ථක වුණා. අපේ පිතිකරුවන් සාර්ථක වුණා නම් අපිට මේ තරගය පහසුවෙන්ම ජය පැරදුමෙන් තොරව අවසන් කරගන්න තිබුණා. නමුත් අපේ කඩුලු කීපයක් ඉක්මනින් දැවී ගියා. පළමු වරුවේ දැවී ගිය කඩුලු සංඛ්‍යාව තමයි පරාජයට වීමට මුල් වුණේ.

ආරම්භක පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණියේ නම් මීට වඩා වෙනසක් වෙන්න තිබුණ කියලා හිතනවද…?

මටත් ඒක හිතුණා. ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරා නම් මට එක පැත්තක් අල්ලගෙන ක්‍රීඩා කරන්න තිබුණා කියලා. මොකද මම ලකුණු අතරට හිටින නිසා ඒ විශ්වාසය මට කොහොමත් තිබ්බා. මට ආරම්භක පිතිකරුවකු විදියට එන්න හම්බ වුණේ නැත්තේ මගේ ආබාධය නිසා. මම හිතන්නේ මම ආවට පස්සේ දික්කත් (නිරෝෂන් දික්වැල්ල) එක්ක සැලසුම් කළේ සෙෂන් එකෙන් සෙෂන් එක යන්න. අපි දෙන්නා ඒක හොඳට කළා. නමුත් අවාසනාවකට මම දැවී ගියා. ඒත් දික්කා හොඳට බැට් කළා. ඒත් එයාට සපෝර්ට් එකට කවුරුත් හිටියේ නෑ. ඉතිං අර මං කිව්වා වගේ පළවැනි විකට් 5 පළවැනි පැය 2 ඇතුළත වැටිච්ච එක තමයි ලොකුම වැරද්ද වුණේ. එතන පොඩි පාර්ට්නර්ශිප් ටිකක් ගිහිල්ලා ලකුණු 200 කට වඩා තිබ්බා නම් සමහරවිට එයාලට ආයෙත් බැට් කරන්න අවස්ථාව දෙන්න තිබ්බා. අපි ධනාතමක නොවෙයි පන්දුවට පහර දුන්නේ. ගොඩක්ම සෘණාත්මක අදහසින්. නමුත් මං හිතනවා වෙනදා බැට් කරන විදියට ගියානම් මීට වඩා හොඳින් සෙල්ලම් කරන්න තිබ්බා කියලා.

තුන් ඉරියව් ක්‍රීඩකයාගෙන් කණ්ඩායම බලාපොරොත්තු වෙන සේවය ගැන අදහස….?

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් අපි ගොඩක් වෙලාවට යොදා ගන්නේ කණ්ඩායම සමබර කරන්න.  රට ඇතුළේ ගහනකොට දඟකැවෙන විකට් එකක් නම් ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්න පුලුවන් ක්‍රීඩකයෙක් යොදාගන්නවා. රටින් පිට සෙල්ලම් කරනවා නම් ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නෙක් තමයි ක්‍රීඩා කරවන්නේ.  කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද කණ්ඩායම බැලන්ස් එකේ තියාගන්න ඕන හින්දා. මේකෙදි විකට් එකේ ලොකු දඟ කැවීමක් තිබ්බේ නැති හින්දා ධනංජයව වැඩිපුර පාවිච්චි කරන්න හම්බ වුණේ නෑ. අපි ගොඩක් දේවල් උත්සාහ කළා. නමුත් මම හිතනවා ඒ දේවල් හරි ගියේ නෑ කියලා.

ආදේශකයෝ කියන්නේ දසුන් ශානක ඉන්නවා. ඒ වගේ ක්‍රීඩකයින් කීප දෙනෙක් ඉන්නවා. ක්‍රීඩා කරන්න. ජාතික කණ්ඩායමට එන්න නම් හැහෝම දේශීය තරගාවලියන්හිදී දක්ෂතාදක්වලා තියෙන්න ඕන. ලංකාවට ක්‍රීඩා කරන කෙනෙක් දක්ෂතා දක්වලා ඉන්න ඕන. නැතුව අපිට හරි අමාරුයි ඒ ස්ථානයට ක්‍රීඩකයෙක් ආදේශ කරන්න.

ඒ තුන් ඉරියව් ක්‍රීඩකයාගෙන් කොයි තරම් දායකත්වයක් ලබා දිය යුතුද…?

ඒක විකට් එකෙන් විකට් එකට තමයි බලපාන්නේ. දැඟ කැවෙන විකට් එකක් නම් අපි ගොඩක් වෙලාවට ප්‍රධාන පන්දුයවන්නන් දෙදෙනා විතරයි භාවිතා කරන්නේ. ඔවුන් මහන්සි වුණාට පස්සේ බ්‍රේක් එකකට වගේ තමයි ගොඩක් වොලවට අපි තුන් ඉරියව් ක්‍රීඩකයව ගේන්නේ. අපි මේ තරගෙදි හිතුවට වැඩිය වේග පන්දු යවන්නන්ටත් පොඩි හෙල්ප් එකක් තියනවා දැක්කා. විශේෂයෙන්ම වේගය සහ ඉපිලීම තිබුණා. අපි හිතපු තරම් දඟ කැවිල්ලක් තිබුණේ නෑ. ඒත් ධනංජයහොඳට ක්‍රීඩා කළා. ඔහු මේ තරගයෙදිත් පිත්තෙන් දස්කම් දැක්වුවා. මං හිතන්නේ ඒ සමබර කිරීම තමයි අපිට අවශ්‍යය. විශේෂයෙන් කඩුලු ටිකක් කළින් ගියොත් එහෙම යටින් පන්දුවට පහර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්න ඕන. ඒ වගේම කඩුලු දෙක තුනක් අරන් දෙන්න පුළුවන් නම් ඒක කණ්ඩායමේ සමබරතාවයට ගොඩක් හොඳයි.

ටෙස්ට් තරග අංශයේදී ළහිරු තිරිමාන්නගේ දායකත්වය ගැන ලොකු ගැටළුවක් තියෙනවා. නායකයකු විදියට තිරිමාන්න ගැන දරන අදහස කොයි වගේද…?

තිරිමාන්න ගත්තොත් ඔහුට ගොඩක් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. විශේෂයෙන් එක්දින තරගවලදී ඔහු ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. ඔහු ටෙස්ට් තරග අංශයේදී අසාර්ථක වෙලා තියෙනවා. නමුත් අවසන් වුණු ලෝක කුසලානයේදී ඔහු හොඳින් ක්‍රීඩා කළා. අන්න ඒකයි අපි ඔහුව සංචිතයට ගෙනාවේ. ඒ වගේම ලකුණු ලබා ගත්තේ නැති වුණත් ඔහු දකුණු අප්‍රිකාවේදී වැදගත් ඉනිමක් ක්‍රීඩා කළා. අපි එහෙදි පළවැනි පන්දුවාර 15 ක්‍රීඩා කළා.  දකුණු අප්‍රිකාව වගේ රටකදි එහෙම සෙල්ලම් කරනවා කියන්නේ මට නම් ලොකු දෙයක්. අන්න එකයි අපි එයාට අවස්ථාවක් දුන්නේ. ඔහු පළවැනි තරගයේදී පිතිකරුවකු විදියට සාර්ථක වුණා. ලකුණු 70 ක් ලබා ගත්තා. නමුත් මම හිතන්නේ ඔහු මීට වඩා වැඩි දෙයක් කණ්ඩායමට කළ යුතුයි. පිතිකරුවෙක් හැටියට මම ඔහුගෙන් මීට වඩා දෙයක් නම් බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් අපි මේ ගැන ඉදිරියෙදි හිතන්න ඕන සහ කතා කරන්න ඕන. අපි බලමු පාකිස්තානය සමඟ තරගාවලියේදී ඔහුට ස්ථානයක් ලැබෙයිද නැද්ද කියලා.

ඔබගේ ආබාධය ගැන කතා කළොත්…?

ඒක සුළු ආබාධ්‍යක්. නමුත් පිසියෝට ඕන වෙලා තිබුණා මට විවේකයක් ලබා දෙන්න. මොකද බැරි වෙලාවත් මම ඇතළේ ගිහිල්ලා දිව්වොත් මගේ ආබාධය මීට වඩා නරක අතට පත්වෙන්න ඉඩ තියෙන නිසා. එම්. ආර්. අයි. ස්කෑන් පරීක්ෂණයකුත් කළා. ඒ වාර්තාවත් අද හම්බවෙනවා. සැලසුම තියෙන්නේ  පාකිස්තාන තරගාවලියට සුදානම් වෙන එක.

ආබාධයේ තියෙන අපහසුව කොයි වගේද…?

මට හයියෙන් දුවන්න බෑ. මට හයියෙන් දුවන්න ඕන වෙලාවට ඒක කරන්න බෑ. ඒකයි මම මම පන්දුවට පහර දෙනකොටත් හිමින් ක්‍රීඩා කළේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar