slc
logo
Home   |    News
අගෝස්තු 8, 2019
ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ගැන නවසීලන්තයෙන් වර්ණනාවක්

Sri Lanka Cricket

දේශීය තත්ත්වයන් යටතේ තරග කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීම යනු අතිශය අසීරු කටයුත්තක් බව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සෑම රටක්ම පිළිගන්නා කරුණකි. වරෙක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැඳෙමින් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නියැලුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අත්වූ ඉරණම ඒ සඳහා ඇති හොඳම උදාහරණයයි. ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුතුව ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම ලෙසින් 2016 වසරේ මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු පිලට ආපසු සිය රට බලා යෑමට සිදුවූයේ 3-0 ක පූර්ණ තරගාවලි පරාජයක් ලබමිනි.

අවසන් වරට බංග්ලාදේශ පිලට එරෙහිව වාර්තා කරගන්නා තරගාවලි ජයග්‍රහණයට ප්‍රථම ගෙවී ගිය වසර 3 කට අධික කාලයේදී එක්දින තරගවල යම් පසු බැස්මක් ප්‍රදර්ශනය කළ බව සැබෑය. එහෙත් එය ටෙස්ට් තරග අංශයට ආදේශ කිරීමේදී හාත් පසින්ම වෙනස් කතන්දරයකි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීමෙහි 6 වැනි ස්ථානයේ ශ්‍රී ලංකා පිල රැඳී සිටියද අවසන් වරට තරග වැදි ටෙස්ට් තරග දෙස බැලීමේදී කැපී පෙනෙන ජයග්‍රහණ කීපයක්ම අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති.

ඉන් ප්‍රධානම තරගාවලිය වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කරන ලද සංචාරයයි. තරග 2 කින් සමන්විත වූ එම ටෙස්ට් තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල 2-0 ක් ලෙස සිය මව්බිමේදී පරාජයට ඇද දමන ලද්දේ ආසියාවේ එම හපන්කම කළ පළමු රට බවට පත් වෙමිනි. කලෙක ක්‍රිකට් ලොව පතාකයින් ලෙස වැජඹුණු බටහිර ඉන්දීය කොදෙව් පිලට මෙන්ම ශ්‍රී ලංකාව වඩා ඈත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් තිබෙන නවසීලන්තයට පවා තවමත් පරාජය කිරීමට නොහැකි වූ දකුණු අප්‍රිකානුව පරාජය කිරීමට අමතරව පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ලද ජයග්‍රහණයද ලද සුවිශේෂී ජයග්‍රහණයන් අතර කැපී පෙනෙයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අගෝස්තු 01 වැනිදා සිට දියත් කරන ලද ටෙස්ට් ලෝක ශූරතාවයේ පළමු කඩයිමට මුහුණ දීම සඳහා කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතු නවසීලන්තය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කරමිනි.

ලබන 14 වැනිදා සිට දෙරට අතර ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී විලියම්සන්ට අමතරව එහි ප්‍රධාන පුහුණුකරු වන ගැරී ස්ටීඩ් පවා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ නිවහනේදී තරග වැදීම අතිශය දුෂ්කර අභියෝගයක් බවයි.

අභියෝගය එසේ පවතිද්දී ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් මීට මාස කීපයකට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද තිලාන් සමරවීරගේ සහායද ලබා ගැනීමට නවසීලන්ත කලමනාකාරීත්වය තීරණය කළේය. සමරවීර හරහා ශ්‍රී ලංකාවේ තණතීරු සම්බන්ධව මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා පිළිබඳව හසල අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව නවසීලන්ත පිල සතු වීමද මෙම තරගාවලියේදී ඔවුන් සතුව තිබෙන තවත් අතිරේක වාසියක් ලෙසින් සඳහන් කළද එහි වරදක් නැත.

“ඇත්තටම මේ තරගාවලිය අපිට විශාල අභියෝගයක්. ඔවුන් (ශ්‍රී ලංකාව) ඔනුගේ මව්බිමේදී තරග වැදීමේදී පරාජය කිරීමට ඉතාම අසීරු කණ්ඩායමක්. ඔවුන් සතුව ජාත්‍යන්තර තලයේ හොඳින් දක්ෂතා දක්වන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිටිනවා. ඔවුන්ගෙන් අපි පරිස්සම් විය යුතුයි” යැයි ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් සඳහන් කර සිටියේය.

“අපි ඔවුන්ට එරෙහිව අපේ උපරිමයෙන්ම තරග වදිමින් දිනය අවසානයේදී හොඳ තැනකට එන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක ඉතා අසිරු කටයුත්තක් බවට අපි අපේක්ෂා කරනවා” යි සංචාරක පිලේ පුහුණුකරුවා වැඩිදුරටත් පවසයි.

ඉකුත්දා නිමාවට පත් වුණු ලෝක කුසලාන තරගාවලි අවසන් මහ තරගය අතරතුරදී ඇතිවුණු මතභේදාත්මක සිදුවීම් වලදී සමස්ථ නවසීලන්ත කණ්ඩායම කෙරෙහි බොහෝ දෙනා තුළ ඇත්තේ ආකර්ශණීය හැඟීමකි. එහි වඩාත්ම ගෞරවය හිමි වන්නේ කණ්ඩායම් නායක කේන් විලියම්සන් වෙතය. වචනයේ පරිසමාප්තත්තවයෙන් කියන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේදී ක්‍රීඩකයකු සතුව තිබිය යුතු මහත්මා ගුණය අසීමාන්තිකව ඔහු සතු බව ලෝක කුසලාන තරගාවලියේදී අපට දැක ගත හැකි විය.

සමස්ථ තරගාවලිය පුරාම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් අවසන් මහ තරග වරම් දිනා ගත් නවසීලන්ත කණ්ඩායමට අවසන් මහ තරගයේදී මුහුණ දීමට සිදුවූ අමිහිරි මතකයන් සියල්ල අමතක කර දමමින් රතු පන්දුවෙන් කෙරෙන ක්‍රීඩාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කර සිටින විලියම්සන් ද ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බලන්නේ අභියෝගාත්මක දෑසකිනි.

“ටෙස්ට් ලෝක ශූරතාවය සඳහා තරග වදින පළමු තරගාවලියම ඉතා අසීරු තරගාවලියක්. අපි ටෙස්ට් තරගාවලියකට සහභාගිවන්නේත් ලොකු කාලයකින් පසුවයි. ඒ නිසා මේ ටෙස්ට් ලෝක ශූරතාවයේ පළමු තරගය බවට පත්ව තියෙන මේ තරගාවලියට අපි සහභාගිවන්නේ ටිකක් තිගැස්මකින් යුක්තවයි. අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ ඔවුන්ගේ තත්ත්වයන් යටතේ හොඳින්ම තරග වදින කණ්ඩායමක් කියලා. නමුත් තියුණු ලෝක කුසලාන තරගාවලියකින් පසු අපි සහභාගිවෙන මේ තරගාවලිය මා සලක්නේ අභියෝගයක් ලෙසයි” යි ටෙස්ට් ලෝක ශූරතාවය මෙන්ම සත්කාරක ශ්‍රී ලංකා පිල සම්බන්ධව විලියම්සන් අදහස් දැක්වීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar