slc
logo
Home   |    News
අගෝස්තු 20, 2019
“සරා” දෙවැනි ගමනට (තරගයට) සූදානම්

Sri Lanka Cricket

වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි පස්දින ටෙස්ට් තරගය අගෝස්තු 22-26 දක්වා පැවැත්වීමට සූදානම්ය. සරා ස්ටේඩියම් නමින් ලොව ප්‍රචලිත මේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 22වන ටෙස්ට් තරගය මෙය වන අතර දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව සහ කේන් විලියම්සන් (නවසීලන්තය) කණ්ඩායම් දෙකට නායකත්වයක් ලබාදෙති.

පී.සරවනමුත්තු ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වනුයේ මෙහිදී 1982 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරගය (එංගලන්තය සමග) පැවැත්වීමත් 1985 දී ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණයත් මෙහිදී ලැබීමත් මතය.

සරා ක්‍රීඩාංගණයේ මේ දක්වා ටෙසට් තරග 21ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරග නවයක් ජයගෙන තරග හතරක් ජය පැරදුමින් තොරව කෙළවර කර ඇත. එංගලන්තය සහ ඉන්දියාව මෙහිදී තරග දෙක බැගින් ජය ගෙන සිටී. පාකිස්තානය,නවසීලන්තය හා බංග්ලාදේශය මෙහිදී තරගය බැගින් ජයගෙන තිබේ. ශ්‍රී ලංකාව සහභාගි නොවු ටෙස්ට් තරගයක් ද මෙහිදී පැවත්විණි.පාකිස්තානය වෙනත් රටවල සිය තරග සංවිධානය කරන අවස්ථාවේ 2002 ඔක්තෝබර් 3-6 දක්වා පැවැති පාකිස්තාන – ඕස්ට්‍රේලියා තරගයෙන් ඕස්ට්‍රේලියාව ජයගත්තේ ලකුණු 41කිනි. ශ්‍රී ලංකා නවසීලන්ත කණ්ඩායම් මේ ක්‍රීඩාංගණයේදී අවසාන වරට 2012 නොවැම්බර් 25-29 තරග වැදුණු අතර එහිදී නවසිලන්තයට ලකුණු 167ක ජයක් අත්විය.

1982 පෙබරවාරි 17වැනිදා මේ ක්‍රීඩාංගණය ලොව 53වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසට ඉතිහාසයට එක්වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරගය වන ශ්‍රී ලංකා – එංගලන්ත තරගය පැවැත්වීමෙනි. 1985 දී ශ්‍රී ලංකාව මේ ක්‍රීඩාංගණයේ දීම සිය මංගල ටෙස්ට් ජයග්‍රහණය ලැබුවේ කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිල පරාජය කරමිනි.

ලංකා ක්‍රිකට් සංගමයේ ප්‍රථම සභාපති සාක්‍යසෝති සරවනමුත්තු 1943 මේ ක්‍රීඩාංගණය ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය නමින් බිහිකළේය. ඔහු 1945 දි ක්‍රීඩා මණ්ඩපයක් මෙහි ඉදිකළ අතර ඔහුගේ මිත්‍රයින් මේ ක්‍රීඩාංගණයට ඔහුගේ නම යෙදීය. 1943 සිට වසර කිහිපයක් නිල් මහ සටන රාජකීය සාන්තතෝමස් තරගය පැවැත්වූයේ ද මේ ක්‍රීඩාංගණයේය. 1977 දී පී.සරවනමුත්තු මිය ගියත් ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ සේවාව වෙනුවෙන් පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ තරගත් සරා කුසලාන තරගත් පැවැත්විණි.

අළු බදුන කුසලානයට ඕස්ට්‍රේලියා කණ්ඩායම එංගලන්තයට යන අතරතුරත් වෙනත් රටවල් එමරටවලට යන අතරතුරත් ශ්‍රී ලංකාවේදි දින 10-14 කාලයන්හි තරගවලට සහභාගි වන අතර අනිවාර්යෙන්ම සරවනමුත්තු පිටියේ ද තරගයක් පවතී.

පී.සරවනමුත්තු පිටියේ එදා සිට මෑතක් වනතුරු තණතිලි සකස් කළේ ද්‍රවිඩ ජාතික කාන්තාවකි. එකළ ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන් (1948 දී) අළු බදුන තරගාවලියට සහභාගිවීමට එංගලන්තය බලායද්දී ලංකාවට පැමිණ සරවනමුත්තු පිටියේදී තරග කළ අවස්ථාව දකුණු ආසියා රටක බ්‍රැඩ්මන් තරග කළ එකම අවස්ථාවයි. ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහාදේවන සතාසිවම් සමග බ්‍රැඩ්මන් කාසියේ වාසිය උරගා බැලීමට යන අයුරු ක්‍රීඩා මණ්ඩපයේ ඡායාරූපයක තවමත් පවතී. බ්‍රැඩ්මන් එදින ලකුණු 20කට දැවීගිය අතර පසුව මතභේදයක් ඇතිවී ඕස්ට්‍රේලියානුවන් පැවසූවේ තණතිල්ල මැන ඇත්තේ යාර විස්සකට පමණක් බවය. එම පන්දු යවන්නන් පන්දු යැව්වේ අඩි දෙකක් පිටුපස සිටිමිනි. තණතිල්ල සැකසු කාන්තාව කීවේ එදින තණතිල්ල ඇයගේ ස්වාමියා සැකසු බවය.

මේ ක්‍රීඩාංගණයන් බිහිවු මහාදේවන් සතාසිවම් ලොව අග්‍ර ඝණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු අතර ඔහු කුමාර් සංගක්කාරට සහ අරවින්ද ද සිල්වා ට ද වඩා ඉදිරියෙන් සිටි බව පැවසේ. 1967 ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහි පැමිණි අවස්ථාවට ලෝක ප්‍රකට ක්‍රීඩකයන් වන බැසිල් බුචර් හා ගැරී සෝබර්ස්ද විය. සෝබර්ස් පැවසුවේ ඔහු දුටු ලොව හොදම පිතිකරු සතාසිවම් බවය. සෝබර්ස්ගේ නායක ෆ්‍රැන්ක් වොරල් ප්‍රකාශ කළේ සතාසිවම් වැනි පිතිකරුවෙකු ඔහු මිහිපිට කෙදිනකවත් දැක නොමැති බවය.

පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩප ඉන් බිහිවු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්ගේ නම් වලින් වෙන් කර ඇත. සතාසිවම්ගේ නම යොදා ඇත්ත් එහි සමාජශාලාවටය. මාධ්‍ය කුටි තුනක් එදා සිට මේ දක්වා ඉදිවු අතර සියළු පහසුකම් වලින් යුත් නව මාධ්‍ය කුටිය මහල් ගොඩනැගිල්ලක දැන් ඉදිව තිබේ. එංගලන්තය පරදා ප්‍රථම ජාත්‍යන්තර එක්දින ජයක් ශ්‍රී ලංකාව 1969 දී මේ ක්‍රීඩාංගණයේ දී ලැබුවේ කොලින් කවුඩ්රිගේ නායකත්වයෙන් යුත් එංගලන්තය (එකළ එම්.සී.සී) පිල කඩුලු තුනකින් පරාජය කිරීමෙනි. එම කණ්ඩායමට ජෝන් එඩ්රිඩ්.ඇලන් නොට් සහ බැසිල් ඩි ඔලිවේරාද අයත්විණි.

මේ ක්‍රීඩාංගණයේ විශේෂත්වයක් වන්නේ වේගපන්දු යවන්නන්ට පිතිකරුවනට හා දගපන්දු යවන්නන්ට එක හා සමාන වාසිගෙන දීමය. එංගලන්තයේ එම්.සී.සී. (ලෝඩ්ස් ක්‍රීඩාංගණයට අයත්) සමාජයේ ප්‍රථම විදේශීය සභාපති වු කුමාර් සංගක්කාර මෙරට විශ්‍රාම යන අවස්ථාවේ ඔහු කැමති කුමන ක්‍රීඩාංගණයේ විශ්‍රාම ලැබීමටදැයි විමසු  විට ඔහු නොපැකිළ එක්වරම කීවේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණ කියාය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee