slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2019
අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා යොවුන් පිල ඉන්දියාව මුණ ගැසෙයි

Sri Lanka Cricket

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ‘බී’ කාණ්ඩය යටතේ පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 42 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ මූලික වටයේ අපරාජිතව අවසන් පූර්ව තරගයට වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (10 දා) සමත්වූහ. ඒ අනුව අවසන් පූර්ව තරග වටයේදී බංග්ලාදේශ පිල ඇෆ්ගනිස්තානය සමඟ මොරටුව සොයිසා ක්‍රීඩාංගණයේදී අනිද්දා (12 දා) තරග වදිනු ඇත.

මෙම තරගය පරාජයට පත් වුණද බී කාණ්ඩය යටතේ සහභාගිවුණු තරග 3 න් 2 ක් ජය ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරග වටයට යෑම බාධාවක් නොවන නමුත් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මෙම තරගයේ ජය අත්‍යවශ්‍ය විය. එසේ වූයේ නම් අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වන්නේ ඉන්දියාව නොව ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. කෙසේ වෙතත් තරග වැදි ‘බී’ කාණ්ඩයේ දෙවැනි තැනට පත් වීම නිසා ශ්‍රී ලංකාව ලබන 12 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉකුත් වසරේ ශූරයින් වන ඉන්දීය පිල සමඟ තරග වැදීමට නියමිතය.

බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ ප්‍රබල පීඩනය හමුවේ ලකුණු 274 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පිතිකරුවා ලෙසින් නවෝද් පරණවිතාන මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් තිබියදී දැවී ගියේය. කමිල් මිශාරට එක්වූ රවිදු රසාන්ත දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක් එක් කරමින් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවීය. එහෙත් රකිබුල් හසන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා මිශාරට පිටියෙන් ඉවත්විය.

මෙවර තරගාවලියේ කැපී පෙනෙනම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්ව සිටින මිශාරට අද දිනයේ රැස් කරගත හැකි වූයේ ලකුණු 33 ක් පමණි. මැද පෙළින් පැමිණි නායක නිපුන් ධනංජය සහ අහන් වික්‍රමසිංහ දෙදෙනා එක්ව ධෛර්යවන්ත ලෙසින් පිති හැසිරවමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සාහ ගත්තද බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් වූ ශමීම් හොසේන් සහ අශ්රාෆුල් ඉස්ලාම් ඔවුන් දෙපළගේ හරහට හිටියේය. අහන් ලකුණු 33 ක් ලබා සිටියදී පෙරළා ලබා දුන් උඩ පන්දුව ශමීම් රැක ගැනීමෙන්ද ලකුණු 36 ක් ලබා සිටියදී සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමෙන් නිපුන් ධනංජයද දැවී ගියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේදී ලකුණු 40 සීමාව ඉක්මවාලීමට සමත්වූයේ අංක 09 පිතිකරු ලෙසින් පිටියට පිවිසි රොහාන් සංජය පමණි. ඉදිරි පෙළ නම් දරා සිටි සියළුම පිතිකරුවන් මුළු ලකුණු සංඛ්‍යාව 183 ක්ව තිබියදී නරඹන්නන් බවට පත් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුවත් අවසන් කඩුල්ලට රොහාන් සංජයට එක්වූ ඩිල්ෂාන් මධුශංක ලකුණු 48 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක විය. තරගයේ ප්‍රථිඵලයට බලපෑමක් ඇති කිරීමට මෙම සම්බන්ධතාවයට නොහැකි වුවත් ජයග්‍රාහී පරතරය අඩු කර ගැනීමටත් ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමටත් මෙමගින් ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය. එම සම්බන්ධතාවයේදී දැවැන්ත හයේපහර 3 ක් එල්ල කිරීමට සංජය (හයේ පහර 2 යි) සහ මධුශංක (හයේ පහරයි) සමත්වූහ. මුහුණ දුන් 36 වැනි පන්දුවේදී රොහාන් සංජයගේ ඉනිම ලකුණු 42 කදී සීමා වද්දී ශ්‍රී ලංකා ඉනිමද ලකුණු 231 කට සීමා විය.

සත්කාරක පිලට එරෙහිව වූ සටනේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබා ශ්‍රී ලංකාවට අසීරු ඉලක්කයක් ලබා දුන්හ. බංග්ලාදේශ පළමු කඩුලු 2 ලකුණු 56 දී බිඳ වැටුණත් දෙවැනි කඩුල්ලට එක් වූ හසන් ජෝයි සහ ටව්හිඩ් රිඩෝයි බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ නැංවූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසවන්ත භාවය තරමක් බිඳ වැටුණු සම්බන්ධතාවයක් ලෙසින් හැඳින්විය හැකි මෙම පිතිකරුවන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක් එක් කිරීමට සමත්වූහ.

පන්දු 150 ක් වැය වුණු මෙම සම්බන්ධතාවය වෙනුවෙන් හසන් ජෝයි ලකුණු 62 කින්ද ටව්හිඩ් රිඩෝයි ලකුණු 50 කින්ද දායකත්වය ලබා දුන්හ. කෙසේ වෙතත් කවිඳු නදීෂාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අකමැත්තෙන් වුවද රිඩෝයිට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය. ඉවතට යනවිටත් පන්දු 75 කට මුහුණ දී තිබූ රිඩෝයි සිය ඉනිම හතරේ පහර 4 කින් වර්ණවත් කර ගත්තේය. පන්දු යැවීමේදී කැපී පෙනුණු රකිබුල් හසන් ලකුණු 49 කට කඩුලු 3 ක් බිඳ දමද්දී ෂොරිෆුල් ඉස්ලාම් සහ අශ්රාෆුල් ස්ලාම් කඩුලු 2 බැගින් බිඳ හෙළා ශ්‍රී ලංකාව අසරණ කළහ.

බංග්ලාදේශ ඉනිම දිග හැරුණු ඉනිම බවට පත්වූයේ හසන් ජෝයිගේ ඉනිමයි. සිය පළමු ලකුණු 50 සඳහා පන්දු 68 කට මුහුණ දුන් ජෝයි දෙවැනි ලකුණු 50  පන්දු 62 කින් ලබා ගත්තේය. මුහුණ දුන් 131 වැනි පන්දුවේදී ශතකය වාර්තා කරගත් ජෝයි ඉතිරි ලකුණු 26 ලබා ගැනීම සඳහා වැය කරන ලද්දේ පන්දු 9 ක් පමණක් වීම විශේෂත්වයකි. පන්දු 140 කදී වාර්තා වුණු හසන් ජෝයිගේ ලකුණු 126 ක විශිෂ්ඨ ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට අවකාශ සැලසීය.

මෙම ඉනිම ප්‍රධාන කොට බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාර 10 ඇතුළත ලකුණු 92 ක් උදුරා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ. හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත වූ ජෝයිගේ ඉනිම 47 වැනි පන්දුවාරයේදී නිමාවට පත්විය. නවෝද් පරණවිතානගේ පන්දුවක් හමුවේ ජෝයි දැවී යනවිටත් මුළු ලකුණු සංඛ්‍යාව 244 ක් ලෙසින් සටහන් විය.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු ඩිල්ෂාන් මධුශංක ලකුණු 5 ක් ඇතුළත නායක අක්බර් අලී සහ රිතුන්ජෝයි චෞද්‍රිගේ කඩුලු දවා ගැනීමට සමත්වීම මත ලකුණු 273 ක සීමාවේ බංග්ලාදේශ ලකුණු පුවරුව නවතා ගැනීමට හැකිවිය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ ඩිල්ෂාන් මධුශංක ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගනිද්දී අෂේන් ඩැනියෙල් ලකුණු 39 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

මේ අතර අද දිනයේ පැවැති අනෙක් තරගය වූ නේපාලනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයෙන් ලකුණු 160 ක ජයක් වාර්තා කර ගැනීමට නේපාල කණ්ඩායම සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාල පිල කඩුලු 9 කට ලකුණු 285 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස එක්සත් අරාබි එමීර් පිලට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 34.4 කදී ලකුණු 125 ක් පමණි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest