Chamila Karawita reporting from Lahore
තෙවැනි තරගයක් දක්වා නොගොස් දෙවැනි තරගයේදීම ජය වාර්තා කරමින් විස්සයි-20 තරගාවලිය ජය ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
තරගය පැවැත්වෙන ලාහෝර් ක්‍රීඩාංගණයේදී රාත්‍රී කාලයේ පවතින දැඩි පිණි සහිත තත්ත්වය ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට වාසියක් ගෙන දෙන නමුත්, පළමු තරගයේ පරිදිම පන්දුවට පහර දී ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් කිසිම පැකිළීමකින් තොරවම දසුන් ශානක පන්දුවට පහර දීමට තීරණය ළේය. තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් 05 වැනිදා පැවැති පළමු තරගයෙන් ලකුණු 64ක විශිෂ්ඨ ජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිට ගනිමිනි. ඒ අනුව අද තරගයේදී ජය ගතහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවනු ඇත.
පළමු තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූ බැවින් අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් අවතීර්ණ වූ නමුත් පාකිස්තානය වෙනස්කම් 2 ක් සිදු කරමින් පැමිණ සිටියි. එහිදී පළමු තරගයට ක්‍රීඩා කරන ලද ෆහීම් අශ්රෆ් සහ ඉෆ්තිකාර් අහමඩ් වෙනුවට ෆකර් සමාන් සහ වහාබ් රියාස් කැඳවීමට එරට කළමනාකාරීත්වය තීරණය කර තිබේ.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති බැවින් ඊට ශෝකය පළ කිරීම සංඛේතවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී කළු පටි පැළඳ ක්‍රීඩා කරනු ඇත.
ශ්‍රී ලංකා පිල – 1. ධනුෂ්ක ගුණතිලක, 2. අවිශ්ක ප්‍රනාන්දු, 3.භානුක රාජපක්ෂ, 4. මිනෝද් භානුක, 5. දසුන් ශානක(නායක), 6. ෂෙහාන් ජයසූරිය, 7. වනිඳු හසරංග, 8. ඉසුරු උදාන, 9. ලක්ෂාන් සඳකැන්, 10. නුවන් ප්‍රදීප්, 11. කසුන් රජිත.
පාකිස්තානු පිල – 1. ෆකාර් සමාන්, 2. බාබර් අසාම්, 3. අහමඩ් ශේෂාඩ්, 4. උමර් අක්මාල්, 5. සෆ්රාස් අහමඩ් (නායක), 6. අසීෆ් අලී, 7. ඉමාඩ් වසීම්, 8. ශාදාබ් ඛාන්, 9. වහාබ් රියාස්, 10. මොහොමඩ් අමීර්, 11. මොහොමඩ් හස්නේන්.