slc
logo
Home   |    News
දෙසැම්බර් 31, 2019
අන්තර් සමාජ එක්දින කිරුළේ අයිතිය හලාවත මේරියන්ස්ට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ අද (දෙසැම්බර් 31) පැවැති අවසන් මහ තරගයේදී එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 91 ක දැවැන්ත ජයක් වාර්තා කළ හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ 2019 වසරේ එක්දින ශූරයින් ලෙස කිරුළු පැළඳූහ. 

ඒ අනුව හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය විසින් සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාව දිනා ගන්නා ලද තෙවැනි අවස්ථාව වශයෙන් මෙම තරගාවලි ශූරතාව සටහන් වේ. මීට අමතරව අවසන් මහ තරග අවස්ථා 5 කටම සුදුසුකම් ලැබීමට හලාවත මේරියන්ස් පිල සමත්වී තිබුණත් ඒ සෑම විටම අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ඔවුනට සිදුවිය. 

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් පිල පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 296 ක ප්‍රභල ඉලක්කයක් එන්. සී. සී. පිල හමුවේ තැබූ නමුත් එය හඹා යෑමේදී ඔවුන් පන්දුවාර 43.3 කදී ලකුණු 204 කට සීමා විය.

ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 06 කට ආසන්න දළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය කර පින්නාගෙන පිටියට පිවිසි එන්. සී. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ ළහිරු උදාර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සාර්ථක ආරම්භයක් එක් කිරීමට සමත්වූහ. මෙම සම්බන්ධතාවයේදී ලකුණු 50 ක්ම ළහිරු උදාරගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනුණි. හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වුණු ළහිරු උදාරගේ ඉනිම සඳහා ඔහු පන්දු 49 කට පමණක් මුහුණ දුන්නේය.

එන්. සී.සී. පිලේ බලාපොරොත්තු තබා තිබෙන පිතිකරුවකු වූ පැතුම් නිස්සංක අද දිනයේදී ලකුණු 38 ක් ලබා ගත් අතර සිය සහායකයාට වේගයෙන් පන්දුවට පහර දීමට ඉඩ දී ඔහු තරමක් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරන ලද්දේ සමස්ථ ඉනිම තම ඉනිම වටා ගොඩ නංවාගැනීමේ අරමුණු කර ගනිමිනි. එහෙත් පුලින් තරංගගේ පන්දුවක් හමුවේ පැතුම් දැවී යෑමත් සමඟ එන්. සී. සී. ඉනිමට කණ කොකා හැඬිණ.  

පැතුම්ගේ දැවී යන විට ලකුණු පුවරුව 119 ක් ලෙසින් සටහන් වූ අතර එතැන් පටන් ලකුණු පුවරුවට ලකුණු 04 ක් එකතු වන විට කඩුලු 5 ක් දැවී යෑම එන්. සී. සී. කණ්ඩායමට ප්‍රභල පාඩුවක් ගෙන දෙන්නක් විය. එහිදී  එන්. සී. සී. පිලේ ප්‍රභලම පිතිකරුවන් වූ නිමේෂ් ගුණසිංහ (24),  නායක ඇන්ජලෝ පෙරේරා (01) සහ චතුරංග ද සිල්වා (00) යන තිදෙනාම පන්දු 10 ක් ඇතුළත දවා ගැනීමට ෂෙහාන් ජයසූරිය සමත් වූ අතර කමිඳු මෙන්ඩිස් මහේල උඩවත්තව දවා ගත්තේය. 

ලකුණු 119 කට එක් කඩුල්ලක් වශයෙන් පැවැති ලකුණු පුවරුව එක වරම කඩුලු 6 කට ලකුණු 123 ක් වශයෙන් සටහන්වීම මත දැඩි අසීරුතාවයකට පත්වූ එන්. සී. සී. පිලට යම් සහනයක් ගෙන දුන්නේ පසුපෙළින් පැමිණි චාමික කරුණාරත්න (32), සචිඳු කොළඹගේ (15) සහ චාමික ගුණසේකර (24*) රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවේ පිහිටෙනි. එන්. සී. සී. පිල අඩ පණ කිරීම වෙනුවෙන් ෂෙහාන්ට අමතරව පන්දුවෙන් දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත්තේය. 

පන්දුවෙන් දක්වන ලද දක්ෂතාවයට අමතරව පිත්තෙන්ද දස්කම් දැක්වූ කමිදු අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 44 ක් රැස් කර ගත්තේ අවසන් මහ තරගයේ වීරයාට හිමි සම්මානයටද හිමිකම් කියමිනි. 

කමිඳුට අමතරව යළිත් සාර්ථක වුණු ආරම්භක පිතිකරු සුමිත් ඝාඩිගාඕන්කාර් හතරේ පහර 14 ක් සමඟ පන්දු 77 කදී වේගවත් ලකුණු 79 ක් රැස් කරමින් හලාවත මේරියන්ස් පිලට දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට අවශ්‍ය අඩිතාලම එක් කර දුන්නේය. ප්‍රථමයෙන්ම ලසිත් කෲස්පුල්ලේ සමඟ ඉනිම ඇරැඹි ඝාඩිගාඕන්කාර් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 63 ක්ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සමඟ ලකුණු 65 ක්ද රැස් කරමින් පිත්තෙන් වැඩිම කාර්යය භාරයක් කරන ලද පිතිකරුවා බවට පත්වූයේය. මෙම ඉනිමට පෙර ඝාඩිගාඕන්කාර් අවසන් වරට ක්‍රීඩා කරන ලද ඉනිම දෙකේදීම ලකුණු 99 ක් සහ ලකුණු 100 බැගින් රැස් කර ගැනීමට සමත්වූවේය. 

ඝාඩිගාඕන්කාර්ට අමතරව හලාවත මේරියන්ස් ඉනිම ශක්තිමත් කළ රුමේෂ් බුද්ධික පන්දු 71 කදී ලකුණු 60 ක් ලබා ගත්තේ හලාවත ඉනිම හමාර වන තුරුම සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි. ඔහුට අමතරව තික්ෂිල ද සිල්වා හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 36 කදී වේගවත් ලකුණු 47 ක් රැස් කරමින් හලාවත මේරියන්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 300 ආසන්නයට රැගෙන ඒමට වැඩි දායකත්වයක් දැක්වූවේය.

කණ්ඩායම් 25 කගේ සහභාගිත්වයෙන් මෙම ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය පැවැති අතර එහිදී ශූරතාව දිනූ හලාවත මේරියන්ස් පිල බී කාණ්ඩය යටතේ තරග වැදිණ. මූලික වටය යටතේ තරග 6 කට මුහුණ දුන් හලාවත මෙරියන්ස් කණ්ඩායම තරග 4 ක් ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීය. ඔවුන් අතින් අවසන් මහ තරගයේ පරාජයට පත්වූ එන්. සී. සී. කණ්ඩායම මූලික වටයේදී බී කාණ්ඩය යටතේම තරග වැදුණු නමුත් හලාවත මේරියන්ස් පිලට එරෙහි තරගය ලකුණු 130 කින් පරාජයට පත් වීමද කැපී පෙනෙයි. 

අර්ධ අවසන් පූර්ව තරගයේදී පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 130 කින් පරාජය කළ හලාවත මේරියන්ස් පිල අවසන් පූර්ව තරගයේදී ප්‍රබල සිංහල ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් ද අනුශූරතාවට පත් එන්. සී. සී.  පිල අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරගවලදී සැරසන්ස් සහ යුද හමුදා කණ්ඩායම් පිළිවෙළින් කඩුලු 3 කින් සහ ලකුණු 22 කින් පරාජයටපත් කරමින් අවසන් මහ තරග අවස්ථාව උදා කර ගැනීමට සමත්වූහ.

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee