slc
logo
Home   |    News
දෙසැම්බර් 9, 2019
මිකී ආතර් යනු…

Sri Lanka Cricket

මිකී ආතර් යනු ලොව අංක එකේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තුනක ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කොට ඇති අත්දැකීම් බහුල ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවෙකි. ඒ සුදුසුකම් ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතය දැන් භාරව ඇතිතේ මිකී ආතර්ටය. ඉකුත් සතියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු ධුරය වැඩ භාර ගත් මිකී ආතර්ගේ පළමු ජාත්‍යන්තර අභියෝගය බවට පත්ව ඇත්තේ ඔහු අවසන් වරට පුහුණුකරු ලෙස කටයුතු කරන ලද පාකිස්තානු කණ්ඩායම සමඟ වීමද දෛවෝපගත සිදුවීමකි. වසර 3 ක කාලයක් පාකිස්තානු පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කරන ලද මිකී ආතර් පාකිස්තානයට ආගන්තුක නොවුණත් ශ්‍රී ලාංකික අපිට ආගන්තුකයෙකි. වසර 2 ක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයේ වගකීම හිමිව සිටින මිකී ආතර් කවුරුන්ද යන්න තවමත් අප තුළ ඇත්තේ ප්‍රාථමික දැනුමක් පමණි. දකුණු අප්‍රිකානු ජාතිකයකු වන මිකී ආතර් යනු කවරෙක්ද…? මේ ඒ පිළිබඳව ලියැවෙන්නකි.

1968 මැයි මස 17 වැනිදා  දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර ඔරේන්ජ් ෆ්‍රී ප්‍රාන්තයේ ග්‍රීකුවාලන්ඩ්හි  උපත ලද ජෝන් මයිකල් ආතර් අධ්‍යාපනය හැදෑරන ලද්දේ වෙස්ට් විලෙ පිරිමි උසස් විදුහලෙනි. පාසල්වියෙහි සිට ඔහු දක්ෂ දකුණත් පිතිකරුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව මොහු දකුණු අප්‍රිකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවිය. දේශීය ක්‍රිකට් තරග අතර පළමු ශ්‍රේණියේ ක්‍රිකට් තරග 110කට සහභාගිවී ඇති මිකී ආතර් ඉනිම 207 කදී ලකුණු 6657ක් රැස්කර ඇත්තේ ශතක 13ක් සහ අර්ධ ශතක 34ක් ඇතුළත්වය. ඉනිමක සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 33.45ක් වූ අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 165කි. ඔහු පන්දු යවන්නෙකු නොවන අතර යවා ඇත්තේ එක් ඕවරයක් (පන්දු හයයි) පමණි.

1986 සිට 2001 දක්වා දකුණු අප්‍රිකානු දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි ජෝන් මයිකල් ආතර් 1998 වසරේදී ඔහු උපත ලද ග්‍රිකුවාලන්ඩ් බටහිර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය. එතැන් පටන් 2003 වසර වන තෙක්ම එම කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ජෝන් මයිකල් ආතර් එම වසර 5 ක කාලය ඇතුළතදී දෙවතාවකදීම ‘ස්ටෑන්ඩර්ට් බැංකු’ තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා එම කණ්ඩායමට දායකත්වය දැක්වූවේය. මිකී ආතර් ලෙසින් ලොව නම් දැරූ පුහුණුකරුවකු වී ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු තනතුර දක්වා පැමිණි ගමනට මූලාරම්භය සැපයෙන්නේ ජෝන් මයිකල් ආතර්ට ලෙසින් 1998 වසරේදී ග්‍රිකුවාලන්ඩ් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කිරීම ආරම්භකීරීමත් සමඟ ය .

එතැන් පටන් එරට කැපී පෙනෙන පුහුණුකරුවකු ලෙසින් බොහෝ දෙනා හඳුනාගන්නා ලද මිකී ආතර් අනතුරුව ගෙවී ගිය වසර 2 ක කාලය ඔහුට එරට ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර ලබා ගැනීමට තරම් දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට සමත්වන්නේය. පුහුණුකරුවකු ලෙසින් පෙන්වන ලද දක්ෂතාවය හේතුවෙන් ඔහු අවසානයේ 2005 වසරේ  මැයි මාසයේ සිට ඔහුට දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වීම් ලබන්නේය. ඔහුට එම තනතුරු හිමිවූයේ හිටපු ප්‍රධාන පුහුණුකරු රේ ජෙනින්ස් ඉවත්කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමත් සමඟය.

දකුණු අප්‍රිකානු පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර පත් වීමෙන් පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියත් අනතුරුව නවසීලන්තය සමඟ පැවැති තරගාවලියේදීත් දකුණු අප්‍රිකානු පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට මීකී ආතර්ට හැකියාව ලැබිණ. ඔහුගේ පුහුණුව යටතේ 2005 සිට 2010 කාලය තුළ ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායමට බවට පත් කරලීමටද හැකියාව ලැබිණ. එපමණක් නොව වසර 40 කට පසුව එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ මව්බිමේදී පරාජයට පත් කිරීමටත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2009 වසර තුළ ඔවුන්ගේ නිජබිමේදී පරාජයට පත් කිරීමටත් මිකී ආතර්ගේ පුහුණුකාරීත්වයට හැකි වන්නේය.

2010-11 වසර වල බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවූ මොහු 2013 දී ඕස්ට්‍රේලියා ජාතික පුහුණුකරු ලෙස පත්විණි. ඉන්දීය සංචාරයේදී ක්‍රීඩක මතභේද මතත් 2013 එංගලන්තයේ චැම්පියන් කුසලාන තරගාවලියේ අසාර්ථකත්වයත් ක්‍රීඩකයින් තුළ සහ ඉන්දීය සංචාරය අතරතුර ක්‍රීඩකයන් අතර වූ මතභේදාත්මක අදහස් හේතුවෙනුත් 2013 වසරේදී ඔස්ට්‍රේලියානු පුහුණුකරු තනතුරින් ඉවත් වීමට මිකී ආතර්ට සිදුවිය. අනතුරුව 2016 වසරේදී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම් ලබන මිකී ආතර්, 2019 වන තෙක්ම පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ කටයුතු කළේය. එම කටයුතු කරන සමයේදී 2017 වසරේ එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ද පාකිස්තානයට දිනා දීමට මිකී ආතර් සමත්වන්නේය. පාකිස්තානු කණ්ඩායමක් එම කුසලාන දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙසින් සටහන් වුණු එම ජයග්‍රහණය කඩුලු රකින ක්‍රීඩක ශෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානු කණ්ඩායම දිනා ගත්තේය. එම වසරේදීම  සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුතු විස්සයි-20 කණ්ඩායම එක දිගට විස්සයි-20 තරග දහයක් ජය ගනිමින් ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායම බවට පාකිස්තානු පිල පත් කිරීමටද සමත් වන්නේය. එසේ ජාත්‍යන්තර දිග් විජය කළ ඇති පුහුණුකරුවකු බවට පත්ව සිටින මිකී ආතර්ට ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තරයේ ජය කෙහෙළි නංවන කණ්ඩායමක් බවට පත් කරළීමට හැකි වන්නේද…?

ඒ වෙනුවෙන් අපිට කාලයට ඉඩ දී බලා සිටීමට සිදුවනු ඇත. මන්ද මේ ඔහු කණ්ඩායම භාර ගෙන ගෙවී යන පළමු සතිය වන බැවිනි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar