slc
logo
Home   |    News
ජනවාරි 22, 2020
විස්සයි-20 ගැන වැඩිම ලකුණු ලාභියා සහ කඩුලු ලාභියා කියන කතාව

Sri Lanka Cricket

අන්තර් සමාජ ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභි පිතිකරුවා බවට පත්වීමට හැකියාව ලැබීම ගැන සතුටට පත් වන නමුත්, තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නොහැකිවීම පිළිබඳව තමා බෙහෙවින් කණගාටුවට පත් වන බව අනුශූරතාවයට පත් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ නායක ෂෙහාන් ජයසූරිය පවසයි.

සී.සී.සී. කණ්ඩායම ශූරතාව දිනා ගන්නා ලද අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලකුණු 80 ක් වාර්තා කළ ෂෙහාන් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වූවේය. අවසන් මහ තරගයද ඇතුළුව තරග 8 කට ක්‍රීඩා කළ ෂෙහාන් මුලු ලකුණු 385 ක් රැස් කර ගැනීමට සමත්ව ඇත්තේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 48.12 ක් රඳවා තබා ගනිමිනි.

විස්සයි-20 තරගාවලියේ අනුශූරතාවයට පත් වුවත් එම තරගාවලියට ප්‍රථම පැවැති එක්දින තරගාවලියේ ශූරතාව කරා සිය කණ්ඩායම රැගෙන යෑමට ෂෙහාන් ජයසූරිය සමත්විය. පිතිකරුවකු ලෙස දක්ෂතා දැක්වුවද මෙම තරගය ජය ගැනීම වෙනුවෙන් වැඩි අවස්ථාවක් තම කණ්ඩායම සතු වූ බව පවසන වමත් පිතිකරුවා, බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාව කරා යෑමේ අවස්ථාව නොලැබීම දැඩි පාඩුවක් වූ බවද සඳහන් කර සිටියේය.

“ඇත්තටම අපේ සැලසුම වෙලා තිබුණේ පළවැනි පන්දුවාර හයේදී ලකුණු 50 ක් සහ අවස්න පන්දුවාර 5 දී ලකුණු 40 ක් හෝ 50 ක් ලබා ගන්න. එහෙම තමයි ලකුණු 180 කට එහා සීමාවකට යන්න සැලසුම් කරලා තිබුණේ. එහෙත් කමිඳු මෙන්ඩිස් දැවී ගියා පස්සේ අපේ ලකුණු ලබා ගැනීමේ වේගය ටිකක් අඩාල වුණා. ඒත් එක්කම කඩුලු කීපයකුත් දැවී යෑම ඊට තවත් බාධාවක් වුණා. ඒ වගේම තීරණාත්මක අවස්ථාවේදී ලැබුණු උඩ පන්දු 2 කුත් අපේ අතින් ගිලිහී ගියා. කොහොම වුණත් මේ තරගය ඉතාමත් තියුණු තරගයක් වුණා”යි ජයසූරිය පවසයි.

මෙවැනි තරගාවලි සංවිධානය කිරීම තරුණ ක්‍රීඩකයින්ට ඉදිරියට ඒමට හොඳ අත්වැළක් බවද පැවැසූ ජයසූරිය, ඉදිරි බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වමින්, ජාත්‍යන්තර තරග පිටියේදී තමන්ට ලැබෙන සෑම අවස්ථාවකදීම හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර සිටියේය.

මේ අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ සී. සී. සී. කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාරද අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, තම කණ්ඩායමේ සාර්ථකත්වයට හේතුව එකමුතුකම වූ බවයි.

“තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට හිමිවී ගැන ඇත්තටම සතුටුයි. මේ තත්ත්වයට එන්න මට කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් උදව් කළා. අපි නිතරම එකිනෙකාට උදව් කරගන්න කණ්ඩායමක්. අපේ සාර්ථකත්වයට හේතුවත් ඒ එකමුතු කමයි” යැයි මාලින්ද පවසා සිටියේය.

තරග 9 කට ක්‍රීඩා කරන ලද මාලින්ද මුලු කඩුලු 18 ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 11.88 ක් රඳවා ගනිමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වමත් දඟ පන්දු යවන්නා මෙම තත්ත්වයට පැමිණීම සඳහා තම කණ්ඩායමේ සාමජිකයින් වන වනිඳු හසරංග  සහ ළහිරු ගමගේ මෙන්ම කණ්ඩායම් නායක අෂාන් ප්‍රියංජන් විශාල සහායක් ලබා දුන් බවද මාලින්ද පුෂ්පකුමාර අදහස් දක්වා සිටියේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee