slc
Home   |    News
පෙබරවාරි 3, 2020
අන්තර් සමාජ ලීග් ක්‍රිකට් – පළමු සතිය සොහොයුරෝ කඩුලු 6 බැගින් බිඳ හෙළති

Sri Lanka Cricket

By Chamila Karawita

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු සති අන්තය රමේෂ් මෙන්ඩිස්ගේ ත්‍රිත්වය ශතකයත් ළහිරු උදාරගේ ද්විත්ව ශතකයත් ඇතුළුව පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් නිමාවට පත්විය. ඒ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති තරග අතුරින් බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 175 ක ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත්වීම හැරුණු කොට සෙසු තරග 4 ම පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා වෙමින් නිමාවට පත්විය. එහිදී සී. සී. සී. පිල විසින් එස්. එස්. සී. පිලද,  එන්.සී.සී. පිල විසින් රාගම කණ්ඩායමද, මුවර්ස් කණ්ඩායම විසින් මීගමුව කණ්ඩායමටද, සැරසන්ස් කණ්ඩායම විසින් ටැමිල් යුනියන් කණ්ඩායමද පළමු ඉනිමේදී පරාජයට පත් කළහ.

රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව අද නිමාවට පත් වුණු තරගයේදී ද්විත්ව ශතක ලාභී ළහිරු උදාරට ත්‍රිත්ව ශතකයක් කරා යෑමේ පහසුම අවස්ථාවක් උදාවී තිබුණත් ඉනිමේ අවසන් පන්දුවාර 3 ඇතුළතදී අවසන් කඩුලු 3 ම දැවී යෑම නිසා පෙනි පෙනී තිබූ ශතකය අවාසනාවන්ත ලෙස අහිමිවිය. එන්. සී. සී. ඉනිම ලකුණු 552 කදී නිමාවට පත් වන විට ළහිරුගේ නම ඉදිරියෙන් පන්දු 303 කදී ලකුණු 290 ක් සටහන්ව තිබිණ.

සතියේ වැඩිම ලකුණු ලාභියා වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 300 ක් ලබා ඉනිම අත්හිටුවීය. මෙය රමේෂ්ගේ පළමු පෙළ දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වූ එම ඉනිමත් සමඟ මෙරට දේශීය තරගාවලියේදී ත්‍රිත්ව ශතක ලබාගත් ක්‍රීඩකයින්ගේ සමාජයට එක්වීමට වරම් ලැබීය. රමේෂ්ගේ ත්‍රිත්ව ශතකයට පෙර දේශීය තරග පිටියේ ත්‍රිත්ව ශතක ලබා ගැනීම් අවස්ථා 5 කදී වාර්තා වී තිබේ. එහිදී ටැමිල් යුනියන් කණ්ඩායමේ කිත්රුවන් විතානගේ ලකුණු 351 ක් ලබා එම සමාජයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වද්දී, සී. සී. සී. පිලේ මිනෝද් භානුක (342), එස්. එස්. සී. පිලේ තිළිණ කණ්ඩම්බි (340*), කුසල් පෙරේරා (336) සහ උදාර ජයසුන්දර (318) ත්‍රිත්ව ශතක ලාභීහු බවට පත්ව සිටිති.  මීට අමතරව පළමු සතියේදී ශතක 9 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත්වූහ.

මේ අතර පන්දු යැවීමේදී සහෝදරයන් වූ වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 6 බැගින් බිඳ හෙළමින් පළමු සතියේ ඉනිමක වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් යුගලය බවට පත්වූහ. එකුස උපන් සහෝදරයන් වුවද මොවුන් අතරින් වනිඳු හසරංග සී. සී. සී. කණ්ඩායමටත් චතුරංග ද සිල්වා එන්. සී. සී. කණ්ඩායමත් නියෝජනය කරති. එස්.එස්.සී.පිලට එරෙහිව ලකුණු 76 කට කඩුලු 6 ක් බිඳ හෙලූ වනිඳු සමස්ථ තරගයේදී කඩුලු 7 ක් දවා ගනිමින් සතියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි තැනට පත්වූ අතර රාගමට එරෙහිව පැවැති තරගයේදී චතුරංග ලකුණු 144 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වූහ.

මොවුන් දෙපළට අමතරව යුද හමුදාවේ දුශාන් විමුක්ති සහ රාගම ක්‍රීඩා සමාජයේ අමිල අපෝන්සෝ කඩුලු 5 ක් දවා ගනිමින් සොහොයුරන්ට පසු කඩුලු 5 ක් දවා ගත් පන්දු යවන්නන් බවට පත්වූහ. සතියේ වැඩිම කඩුලු ලාභියා වූයේ යුද හමුදා කණ්ඩායමේ දුශාන් විමුක්ති වන අතර ඔහු පළමු ඉනිමේදී ලකුණු 20 කට කඩුලු 5 ක් සහ සහ දෙවැනි ඉනිමේ කඩුලු 49 කට කඩුලු 4 බැගින් තරගය පුරා කඩුලු 9 ක් බිඳ හෙළීය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest