slc
Home   |    News
පෙබරවාරි 15, 2020
කොදෙව්වන්ට එරෙහි පළමු පුහුණුවට නවකයන් රැසක්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පළමු පුහුණු තරගය සඳහා නවකයන් රැසකගෙන් සමන්විතව නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ නායකත්වය සඳහා උපුල් තරංගව පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන කමිඳු මෙන්ඩිස් ඇතුළත්ව සිටියද ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව මඟ හැරී තිබේ. ඔහුට අමතරව ශිරාන් ප්‍රනාන්දුද නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වුවත් ආබාධයක් හේතුවෙන් ඔහුටද මෙම තරගය මග හැරෙනු ඇත. ඒ වෙනුවට සධීර සමරවික්‍රම සහ තික්ෂිල ද සිල්වා සංචිතයට එක් කිරීමට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ අතර මෙම කණ්ඩායමට මෑතකදී වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන ලද සහ නියෝජනය කරන ක්‍රීඩකයින් කීපදෙනකු ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. නවකයන්ගේ දක්ෂතා පිළිබඳව විශ්වාස තබා ඇති තේරීම් කමිටුව වර්තමාන වයස අවුරුදු 19 න් පහළ නියෝජනය කරනු ලබන ඩිල්ෂාන් මධුශංක සහ කවිඳු නදීෂාන්ව කණ්ඩායමට එක් කොට තිබේ.

හුංගම විජයබා විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ මධුශංක අවසන් වුණු යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර 5 වැනි ස්ථානයේ රැදී සිටියේය. කවිඳු නදීෂාන්ට ලෝක කුසලාන තරගාවලියේදී එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වුවත් ඊට පෙර බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී කඩුලු 18 ක් දවා ගනිමින් කුසලාන දිනා ගැනීම වෙනුවෙන් වැඩි මෙහෙවරක් කරමින් දක්ෂතම පන්දු යවන්නාගේ සම්මානයට හිමිකම් කීවේය.

නම් කරන ලද කණ්ඩායමේ වේග පන්දු යැවීමේ ප්‍රධාන වගකීම අසිත ප්‍රනාන්දු වෙත හිමිවද්දී ඔහුට සහායකයින් ලෙස තික්ෂිල ද සිල්වා, ඩිල්ෂාන් මධුශංක සහ චාමික ගුණසේකර නම් කර තිබේ. මීට අමතරව පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධව ගැටළුවකට මුහුණ දුන් තරිඳු කෞෂාල් ටද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමිවීම කැපී පෙනෙයි. ඔහුට අමතරව සචිදු කොළඹගේ කවිඳු නදීෂාන් සහ පුලින තරංග ද දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටිති.

කලක් ශ්‍රී ලංකා පිලට නැතුවම බැරි ක්‍රීඩකයකු බවට පත්ව සිටි අසේල ගුණරත්න කෙරෙහිද අවධානය යොමු කර සිටින තේරීම් කමිටුව ඔහුගේ දක්ෂතා යළි මැන බැලීම වෙනුවෙන් කණ්ඩායමේ ස්ථානයක් ලබා දී තිබේ. ඒ අතර ඇන්ජලෝ පෙරේරාද ඇතුළත්ව සිටියි.

ශ්‍රී ලංකා සංචිතය – උපුල් තරංග (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අෂේන් බණ්ඩාර, දිල්ශාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචිඳු කොළඹගේ, තරිඳු කෞෂාල්, පුලින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීෂාන් සහ ළහිරු උදාර.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest