slc
logo
Home   |    News
පෙබරවාරි 25, 2020
මහන්සිවිම හැර කිසිම මැජික් එකක් නෑ – මිකී ආතර්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද පිතිකරුවන් අතරින් වැඩි දෙනෙක් දක්ෂතා අතරට පැමිණීමට කණ්ඩායමක් ලෙස ඉතා සුභ ලකුණක් බව සඳහන් කරන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, එහෙත් ඉදිරියට යෑමේදී සාර්ථකත්වය කරා යෑමට නම් ඒ අතරින් කවුරු හෝ දීර්ඝ ඉනිමක් කරා යා යුතු බව අවධාරණය කර සිටියේය.

තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවට කඩුල්ලක තියුණු ජයක් අත්කරගත් මෙම තරගයේදී නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කරගත් අතර වනිඳු හසරංග නොදැවී ලකුණු 42 ක් ලබා ගනිමින් පිතිකරණයෙන් කැපී පෙනුණහ. 

“සෙනසුරාදා පැවැති තරගයේදී අපේ පිතිකරුවන් ඉතා හොඳින් තණතීරුවට අනුගත වුණා. අපේ ඉදිරිපෙළ පිතිකරුවන් 6 දෙනා අපිව තරගයේ ජයග්‍රහණය ආසන්නයට රැගෙන ගියා. අපේ පිතිකරුවන්ට 52, 50, 47, 20, 5 සහ 18 ලකුණු ලබා ගත්තා. ඒ වගේම ඒ හරහා අපිට කඩුලු අතර හොඳ සම්බන්ධතා කීපයක්ම ගොඩ නඟා ගන්න හැකියාව ලැබුණා. නමුත් අපිට ඒ අතරින් ඊට එහාට යන පිතිකරුවකු අවශ්‍යයි. අපේ පිතිකරුවන්ගෙන් ඕන වෙන්නේ කවුරු හරි දීර්ඝ ඉනිමක් කරා යන්න”යි සඳහන් කර සිටියේය.

එස්. එස්. සී. පිටියේ ලද ජයග්‍රහණය අවසන් එක්දින තරග 24 න් අප ලද 14 වැනි එක්දින තරග ජයග්‍රහණය වේ. එම තරගය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු, “ඒ මොකද කියනවා නම් තිසර පෙරේරාට සහ වනිඳු හසරංගට නිදහසේ පන්දුවට පහර දීලා තරගය නිමා කරන්න පුලුවන් වුණේ ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතරට ආපු නිසයි. මම හිතන විදියට ඔවුන් පන්දුවට පහර දෙන්න එනකොට ලකුණු 90 ක් වගේ ලබාගත යුතුව තිබුණා. එය තරමක් දීර්ඝ ලකුණු සංඛ්‍යාවක්. අංක 7 හෝ 8 පිතිකරුවන් පන්දුවට පහර දෙන්න යනකොට ලකුණු 90 ක් වගේ ලබාගන්න තියෙනවා කියන්නේ තරමක් අසීරු දෙයක්. නමුත් ඔවුන් පන්දුවට පහර අවස්ථාවේදී ලකුණු 40 ක් හෝ 45 ක් ලබා ගන්න තියෙනවා කියන්නේ එය ලබාගන්න පුලුවන් ඉලක්කයක්. ඔන්න ඔය අංශය තමයි අපි වැඩි දියුණු කර ගන්න ඕනෙ”යැයි පැවැසීය.

මේ අතර හෙට තරගය පිළිබඳව ද අදහස් දක්වා සිටි මිකී ආතර්, “ඇත්තටම පළමු ජයග්‍රහණයෙන් පස්සේ කණ්ඩායමේ හැඟීම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ වන විට එයා හොඳින් සංකලනය වෙලා ඉන්නවා. ඔවුන් ඔවුන්ට හිමි වගකීම් ඉතා හොඳින් සිදුකරමින් ඉන්නවා. කණ්ඩායම දිහා බැලුවහම ඔවුන් ඔක්කොම එක පොකුරට දක්ෂතා අතර ඉන්නවා. එය ඉතාම සිත්ගන්නා සුලු සතුටට කරුණකි. තරගයක ජයග්‍රහණය සඳහා කණ්ඩායම් හැඟීම ඉතාම වැදගත්. ඒ දේ තරගාවලියේ පළමු ජයග්‍රහණය සඳහා ඉතාමත් වැදගත් වුණා. ළඟීන් ළඟීන් ගිය තරගයක් වුණත් එය ඉතාම හොඳ තරගයක් වුණා”යි ආතර් පවසයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට පෙර අද උදෑසන කාල සීමාවේදී සිය පුහුණුවීම් වල නිරත වූ අතර අව් රශ්මිය දැඩි බලපෑමක් සිදුකරනු දැක ගත හැකි විය. මේ පිළිබඳවද මාධ්‍ය හමුවේදී මිකී ආතර්ගෙන් ප්‍රශ්න කර සිටියේය. “උෂ්ණත්වය ගත්තහම ඇත්තටම ටිකක් ඉහළයි. නමුත් අපගේ වෛද්‍ය අංශය ක්‍රීඩකයින් විජලනයෙන් ගොඩ ගැනීම සඳහා ඉතා විශාල කාර්යය භාරයක් සිදු කරනවා. මේ වගේ තත්ත්වයකදී ක්‍රීඩකයින්ගේ විජලය පාලනය කිරීමේ සැලස්ම ඉතා වැදගත් වෙනවා. එය පුහුණුවීම් සිදු කළ පසුගිය දින 2 දීත් සිදු කළා”යි පවසයි. 

පළමු තරගය ජය ගැනීම සඳහා පිත්තත් පන්දුවෙත් දක්ෂතා ඉවහල් වූවා සේම පන්දු රැකීමද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතා ඉහළ මට්ටමක පැවැතිණ. මේ තත්ත්වය මත කොදෙව් කණ්ඩායමේ ලකුණු 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් නතර කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූවා සේම දුවද්දී දවා ගැනීම් 2 ක්ද ලබා ගැනීමට සමත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය ඉහළ වඩවන්නක් බවට පත්ව තිබේ.

පන්දු රැකීමේ අංශයේ හදිසි පිබිදීමට හේතු කවරේද යන්න මිකී ආතර්ගෙන් කරන ලද විමසීමේදී, “හේතුව තමයි ඒ වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙලා කටයුතු කිරීම. පන්දු රැකීමේ කාර්යය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා විශාල වැඩ ප්‍රමාණයක් සිදු කරනවා. විශේෂයෙන් ෂේන් මැක්ඩමොට්, ග්‍රාන්ට් ෆ්ලවර්, ඩේවිඩ් සේකර් අතිශයින්ම මේ කරුණ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා. ඒ හරහා අපි හැම කෙනෙක් ගැනම දියුණුවක් පේන්න තියෙනවා. පිතිකරණයේ මෙන්ම පන්දු රැකීමේදී අපිට දියුණු කරගන්න තැන් කීපයක්ම තියෙනවා. ඒවා සමහර විට පාලනය කරන්න බැරි දේවල්. විශේෂයෙන් බැලුවොත් ප්‍රතිවාදී පිලේ පන්දු යැවීම අපිට පාලනය කළ නොහැකි දෙයක්. නමුත් පන්දු රැකීම නම් එය අපිට පාලනය කරන්න පුලුවන් දෙයක්. මම හිතන්නේ අපි එදා දවසේ කරපු දේ ඉතාම විශිෂ්ඨයි. මම වඩාත්ම කැමැති දේත් එයයි. ඒ ආකල්පය අපි පිතිකරණය සහ පන්දු යැවීම දක්වා ගෙන ගියා. ඒ හැරෙන්න මේකෙ කිසිම විජ්ජාවක් නෑ”යි ආතර් පැවැසීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar