ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් ගත් එම තරග දෙක වුයේ එන්.සී.සී. පිටියේ පැවැති හලාවත මේරියන්ස් – ටැමිල් යුනියන් තරගය සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති බ්ලුම්ෆීල්ඩ් – බී.ආර්.සී. තරගයයි.
හලාවත මේරියන්ස් – ටැමිල් යුනියන් තරගයේ දී හලාවත මේරියන්ස් පන්දුවාර 50දී කඩුලු 8කට රැස් කළ ලකුණු 266 හඹායද්දී ටැමිල් යුනියන් කණ්ඩායම කඩුලු 8කට ලකුණු 258ක් ලබා සිටිය දී ටැමිල් යුනියන් ඉනිම ලකුණු 261දී නිමාවට පත්විණි.
මේරියන්ස් කණ්ඩායමේ තනුක දාබරේ ලකුණු 62ක් රැස් කර පසුව ලකුණු 47කට කඩුලු හතරක් දවා තුන් ඉරියව්වේම කැපී පෙනුණි.
බ්ලුම්ෆීල්ඩ් – බී.ආර්.සී. තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කඩුලු 8කට රැස් කළ ලකුණු 313ක දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹායද්දී බී.ආර්.සී. කඩුලු 8කට ලකුණු 302ක් රැස් කර සිටිය දී පන්දුවාර 50 නිමවීමෙන් බ්ලුම්ෆීල්ඩ්ට ජය අත්විය. (මීට අමතරව කෝල්ට්ස් – මුවර්ස් සහ පොලීසිය මෙදින ජයග්‍රහණ අත්කර ගනු ලැබීය.
පොලීසිය කඩුලු හයකින් ජය ගනියි
පොලිස් කණ්ඩායම මේ තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය. පොලීසියේ නවීන් ප්‍රනාන්දු (31/3) චාරුක ප්‍රමෝද් (22/2) සහ දිලුම් සුධීර (16/2) දක්ෂ පන්දු යැවීම හමුවේ බදුරලිය පන්දුවාර 22.1ක දී සියලු පිතිකරුවන් දැවී රැස් කළේ ලකුණු 88කි.
බදුරලිය වරක් ලකුණු 62කට කඩුලු හතක් දැවී අසීරුම තත්ත්වයක සිටිය දී අංක නවය පිතිකරු කේසර නුවන්ත පන්දු 27ක දී හයේ පහර දෙකක් සමග ලකුණු 18ක් රැස් කළේය.
පොලීසිය ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 90 රැස් කළේ පන්දුවාර 14ක දී ය. අංක තුන පිතිකරු චතුරංග ජයතිලක පන්දු 27ක දී හතරේ පහර හයක් හයේ පහරක් සමග ලකුණු 42ක් ලබා දස්කම් පෙන්වීය.
බදුරලිය පන්දුවාර 22.1ක දී සියල්ල දැවී 88 – (කේසර නුවන්ත 18, යෙනුල දෙව්තිසා 16, දිල්ෂාන් ද සොයිසා 15, අලංකාර අසලංක 11, නවීන් ප්‍රනාන්දු 31/3, චාරුක ප්‍රමෝද් 22/2, දිලුම් සුධීර 16/2යි)
පොලීසිය පන්දුවාර 14ක දී කඩුලු 4ට 90යි – (චතුරංග ජයතිලක 42, ප්‍රියමල් පෙරේරා නොදැවී 15, නදීර බාලසූරිය 13, මනස මධුභාෂන 27/2, චානක කොමසාරු 18/1යි)
- මුවර්ස් කඩුලු හතරකින් ජය ගනියි
වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී මුවර්ස් කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.
කුරුණෑගල තරුණ කණ්ඩායමේ අංක පහ පිතිකරු රශ්මික මධුශංක පන්දු 108ක දී හතරේ හතරක් හයේ දෙකක් සමග ලකුණු 75ක් රැස් කරමින් දැක් වු දක්ෂතා මත එම කණ්ඩායමට කඩුලු හතකට ලකුණු 196ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.
මුවර්ස් ලකුණු 197ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී අංක පහ පිතිකරු රමේෂ් මෙන්ඩිස් (නොදැවී 73යි පන්දු 107යි හතරේ පහයි හයේ පහරයි) සහ ෂෙහාන් ප්‍රනාන්දු (ලකුණු 48යි පන්දු 60යි හතරේ පහයි) හයවන කඩුල්ල සඳහා ලකුණු 83ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
කුරුණෑගල තරුණ පන්දුවාර 50දී කඩුලු 7ට 196යි – (රශ්මික මධුශංක 75, දිල්හාර පොල්ගම්පල 33, අසන්ත බස්නායක 17, අරවින්ද ප්‍රේමරත්න 16, දේශාන් සෙනෙවිරත්න නොදැවී 15, ප්‍රවීන් ජයවික්‍රම 16/2, හිවින් කෙනුල 28/1යි)
මුවර්ස් පන්දුවාර 43.3ක දී කඩුලු 6ට 199යි – (රමේෂ් මෙන්ඩිස් නොදැවී 73, ෂෙහාන් ප්‍රනාන්දු 48, මිලාන් රත්නායක නොදැවී 20, සධීර සමරවික්‍රම 15, අරවින්ද ප්‍රේමරත්න 37/3, දේශාන් සෙනෙවිරත්න 63/2යි)
- කෝල්ට්ස් ලකුණු 84කින් ජය ගනියි
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කෝල්ට්ස් කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය.
කෝල්ට්ස් පිතිකරුවන් දෙදෙනකුම මෙදින අර්ධ ශතක රැස් කිරීමට සමත් විණි. ආරම්භක පිතිකරු සංගීත් කුරේ පන්දු 105ක දී හතරේ පහර හයක් හයේ පහර දෙකක් සමග ලකුණු 81ක් ද අංක හත පිතිකරු කවිෂ්ක අංජුල ලකුණු 55ක් ද රැස් කරමින් ලකුණු රැස් කිරීමේ දී කැපී පෙනුණි.
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම වෙනුවෙන් අංක හතර පිතිකරු කෙවින් පෙරේරා පන්දු 93ක දී හතරේ දහයක් සමග ලකුණු 70ක් රැස් කළත් ඔහුගේ උත්සාහයන් ඵල රහත විය.
කෝල්ට්ස් පන්දුවාර 50දී කඩුලු 9ට 275යි – (සංගීත් කුරේ 81, කවිෂ්ක අංජුල 55, ධනංජය ලක්ෂාන් 39, මුදිත ලක්ෂාන් 34, ඇන්ජලෝ මැතිව්ස් 27, හිරුන ගාල්ලගේ 18, අබ්දුල් හකාම් 50/2, රාහුල් ගුණසේකර 51/2යි)
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පන්දුවාර 44.1දී සියල්ල දැවී 191 – (කෙවින් පෙරේරා 70, අක්රම් මුතාලිබ් 34, පසිඳු පැතුම් 25, රාහුල් ගුණසේකර 20, සඳුන් මෙන්ඩිස් 12, පැතුම් කුමාර 15, දිල්ෂාන් මධුශංක 35/2, මුදිත ලක්ෂාන් 11/2, කවිජ ගමගේ 26/2, සංගීත් කුරේ 23/2)
- බ්ලූම්ෆීල්ඩ් ජය
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු බ්ලුම්ෆීල්ඩ් මුලින් පන්දු රැකීමට තීරණය කළේය.
මේ කණ්ඩායම් දෙක මෙදින ලකුණු 615ක් රැස් කිරීම කැපී පෙනුණු සිදුවීමකි. බ්ලුම්ෆීල්ඩ් වෙනුවෙන් පිතිකරුවන් තිදෙනකු සහ බී.ආර්.සී. වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනකු අර්ධ ශතක වාර්තා කළහ.
බ්ලුම්ෆීල්ඩ් නායක නිපුන් කරුණානායක පන්දු 86ක දී හතරේ හතරක් හයේ හයක් සමග ලකුණු 90ක් ද බී.ආර්.සී. වෙනුවෙන් අංක හය පිතිකරු දිනුරු අබේවික්‍රමසිංහ පන්දු 90ක දී හතරේ නවයක් හයේ තුනක් සමග ලකුණු 98ක් ද රැස් කළහ.
බ්ලුම්ෆීල්ඩ් පන්දුවාර 50දී කඩුලු 5ට 313යි – (නිපුන් කරුණානායක නොදැවී 90, රවිඳු ප්‍රනාන්දු 58, ජනිත් ලියනගේ 51, රොන් චන්ද්‍රගුප්ත 39, ළහිරු මධුශංක නොදැවී 37, තරිඳු හර්ෂණ 16, තරුෂ්ක අසේල් 53/ 2, මුවින් අභිනාෂ් 44/1යි)
බී.ආර්.සී. පන්දුවාර 50දී කඩුලු 8ට 302යි – (දිනුරු අබේවික්‍රමසිංහ 98, චාමික හීනටිගල 53, තරුෂ්ක අසේල් 45, මුවින් අභිනාෂ් 35, මොවින් සුබසිංහ 24, දුලාජ් සමුදිත 61/2, තරිඳ ගුරුගේ 48/2)
- හලාවත මේරියන්ස්ට ජය
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී හලාවත මේරියන්ස් තියුණු තරගයකින් පසුව ලකුණු පහක ජයක් අත්කර ගත්තේය.
හලාවත මේරියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තනුක දාබරේ මේ තරගයේ දී පන්දු 62ක දී හතරේ පහර හයක් හයේ පහර දෙකක් සමග ලකුණු 62ක් රැස් කර පසුව ලකුණු 47කට කඩුලු හතරක් දවා තුන් ඉරියව්වේම පෙන් වු දස්කම් හලාවත මේරියන්ස්ට තියුණු ජයක් ලැබීමට වැඩිපුරම දායකත්වයක් ලැබිණි.
ටැමිල් යුනියන් කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනකුම ලකුණු තිහ අභිබවා ගියත් කිසිවකුට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව නොලැබිණි.
හලාවත මේරියන්ස් පන්දුවාර 50දී කඩුලු 8ට 266යි – (කසුන් විදුර නොදැවී 74, තනුක දාබරේ 62, තරිඳු අමරසිංහ 49, ෂම්මු අෂාන් 20, හිරාන් ජයසුන්දර 26, සකුන ලියනගේ 16, සචිත ජයතිලක 51/3, විජය කාන්ත් වියස් කාන්ත් 45/2)
ටැමිල් යුනියන් පන්දුවාර 48.2දී සියල්ල දැවී 261යි – (සිනෙත් ජයවර්ධන 45, සචිත ජයතිලක 39, තෙවිඳු සේනාරත්න 38, මිනෝද් භානුක 35, සිතාර හපුහින්න 31, ෂරුජන් ෂන්මුගනාදන් 28, තානුක දාබරේ 47/4, නිම්සර අතරගල්ල 59/3, රවිඳු රත්නායක 28/2)





