slc
logo
Home   |    News
ජූලි 9, 2025
නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී ගිය වසර කිහිපය තුලදී සහභාගිවූ තරගාවලි 9න් 7ක් ජයග්‍රහණය කර ඇති බවත්, ක්‍රීඩක කළමනාකරණය හොඳින් සිදුවීම ක්‍රීඩාවේ ප්‍රබෝධයට හේතුවක් බවත් කුසල් මෙන්ඩිස් සඳහන් කළේය.

මහනුවර පල්‍ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (8) පැවැති අවසන් හා තීරණත්මක එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් මේ බව පැවැසීය.

සංචාරක බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත් අතර, අවසන් තරගයේ ශතකයක් ලැබූ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම දිනා ගත්තේය.

“අවුරුදු දෙකක් තුනක් ඈතට බැලුවොත් කණ්ඩායමක් ලෙස අපි ගොඩක් පහළින් හිටියේ. අන්තිම තරගාවලි 9න් 7ක්ම ශ්‍රී ලංකාව ජයගෙන තියෙනවා. කණ්ඩායමක් හැටියට සතුටු වෙනවා. චරිත් හොඳ නායකත්වයක් දෙනවා. ක්‍රීඩකයින් කළමනාකරණය ඉතා හොඳින් සිඳුවෙනවා. ඒක තමයි විය යුත්තේ. ප්‍රධාන පුහුණුකරු හා පුහුණු කාර්ය මණ්ඩලය අපිට පීඩනයක් එල්ල වෙන හැම ‍වේලාවකම ඔවුන්ගේ පැත්තට ඒක ගන්නවා. ඒක ක්‍රීඩකයින්ට විශාල ධෛර්යයක්. මේ කරුණු අපේ සාර්ථකත්වයට හේතුවක්.

ප්‍රශ්නය: දෙවැනි එක්දින තරගයේ ඉනිම හා අවසන් තරගයේ ඉනිම පිළිබඳ මොකක්ද අදහස?

පිළිතුර: දෙවැනි තරගයේදී මගේ දැවී යෑමෙන් පස්සේ තරගය වෙනස් වුණා. එතැනදී මගෙන් වරදක් වුණා. මොකද ආර්. ප්‍රේමදාස තණතිල්ල පිතිකරුවන්ට ලෙහෙසි වුණේ නෑ. නමුත් මම දිගටම පන්දුවට පහර නොදුන් නිසා වරදක් වුණා. මට ප්‍රධාන පුහුණුකරු හා පිතිකරණ පුහුණුකරු කතා කරලා කිව්වා ලකුණු අතර ඉන්න වෙලාවේ ලොකු ලකුණු ගණනකට යන්න කියලා. මගේ බලාපොරොත්තුව තිබ්බේ ඒකයි. දෙවැනි තරගයට වඩා රිදම් එක කඩලා සාමාන්‍ය විදිහට ක්‍රීඩා කළේ.

ප්‍රශ්නය: ඔබ මේ තරගය නිමාවෙද්දී එක්දින තරගවල ලකුණු සියයේ 6ක් ගහලා ‍ තරගය දිනන්නේ. මොකද හිතන්නේ?

පිළිතුර: ඇත්තටම මගේ 100 හයට වඩා තරගය දිනපු එක ගැන සතුටුයි. අවශ්‍යම මැච් එකක්. අපි 1-1යි තිබුණේ. දෙවැනි තරගයේ සිඳු වුණ වැරද්ද හරි ගස්සලා මේ තරගයේ ඒක කරන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි. මගේ පැත්තෙන් උපරිම දේ කරලා තරගය ජය ගත්ත එක සතුටුයි.

ප්‍රශ්නය: ඔබේ පිතිකරණ පුහුණුකරු කලින් පැවැති මාධ්‍ය හමුවේදී කිව්වා කුසල් ලකුණු 100ක් ගැහුව්වාම තරගයේ සියයට 95ක් අපේ පැත්තට වාසි වෙනවා කියලා. ඒ ගැන ඔබ සමඟ කතා කළාද?

පිළිතුර: ඔව් පිතිකරණ පුහුණුකරු ගොඩක් කතා කළා ඒ ගැන. ඉතින් පුහුණුවේදීත් එයා මට කිව්වා. අසාර්ථක වුණ වේලාවල් ඇති. නමුත් ලකුණු අතර ඉන්න වේලාවට ලොකු ගණනකට යන්න කියලා. අපරාදේ 50ක් 60ක් ගහලා අවුට් වෙන්න එපා කියල ඔහු මට කිව්වා.

ප්‍රශ්නය: ඔබ 2016දී මේ තණතිල්ලේ ‍ටෙස්ට් තරගයකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 186ක් ලබා ගන්නවා. ඔබ ස්ථාවර වුණාම ලොකු ගණනකට යනවා. නමුත් එක්දින තරග 146කදී ලබාගෙන තියෙන්නේ ශතක 6යි. ඔබ මේ ගැන සෑහිමකට පත් වෙනවාද?

පිළිතුර: මට ඕන වුණේ තරගය හා තරගාවලිය දිනන්න. ඒ වෙ‍ලාවේ මම 50ක් ද 100ක්ද ගහන්‍නේ කියලා බැලුවේ නෑ. මගේ පැත්තෙන් හොඳයි ලකුණු ගන්නවා නම්. බලමු ඉදිරියට ලකුණු අතර දිගටම ඉන්න.

ප්‍රශ්නය: පල්ලේකැලේ තණතිල්ලේ සංඛ්‍යා ‍ලේඛණ ගත්තොත් පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම් දිනා ඇත්තේ තරග සුළු ගණනක්. ඇයි මුලින් පන්දුවට පහර දුන්නේ. මේ තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ හයේ ඒවා නෑ. හත‍රේ පහරවල් 38ක් තිබුණා. මොකක් හරි සැලසුමක් තිබුණාද?

පිළිතුර: කලින් තරග වැස්සත් එක්ක වෙනස් වුණා. අද තරගයේදී එහෙම එකක් තිබ්බේ නැහැ. තණතිල්ලලේ බවුන්ස් එක අඩුයි. අපේ වේග පන්දු යවන්නන් හොඳයි. හයේ එකක් ගැහුව්වේ නැත්තේ බවුන්ස් එක අඩු නිසා. චරිත් සමඟ කතා කළේ අවුට් ෆීල්ඩ් එක වේගවත් නිසා ලකුණු දෙකේ ඒවා වගේ ගහමු කියලා. අනික ‍ලෝකයේ උඩින්ම ඉන්න පන්දු යවන්නන් 5ක් අපි සතුයි. අපි ඒ ගැන විශ්වාස කරලා මුලින් පන්දුවට පහර දුන්නා.

ප්‍රශ්නය: කණ්ඩායමක් ලෙස පන්දු යවන්නන්, පිතිකරුවන් පන්දු රකින්නන් අංශ හොඳින් තිබුණද?

පිළිතුර: කාලයක් තිස්සේ අපි අංශ තුනම හොඳින් කරගෙන යනවා. වරදක් කියන්න බෑ. නමුත් තරග පරදින්නේ එක අතපසුවීමකින් වෙන්න පුළුළුන්. ඒක ලොකු අතපසුවීමකින් නොවෙයි.  ‍තරග දෙක තුනක් යද්දී ඒක වෙන්න පුළුවන් දෙයක්. අපි ඉගෙන ගෙන තියෙනවා අතපසුවීම් කියන්නේ මොනවාද කියලා. මම, චරිත්, පැතුම්, කමිඳු, වනිඳු බැලුවොත් එක්කෙනෙක් ‍නොවෙයි තරගාවලිය දිනවන්නේ. හැමෝම තරගයෙන් තරගයට යමක් කරලා දිනවනවා. එක් ක්‍රීඩකයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. චරිත් හැම වේලාවේම කියන්නේ අද තරගයේ අපේ කෙනෙක් තරගයේ වීරයා විය යුතුයි කියලා. ටීම් එක ඇතුලේ කතා වෙන්නේ ඕක තමයි. තරගයේ වීරයා වෙන්න අපේ කෙනෙක්.

ප්‍රශ්නය: බංග්ලාදේශ පිල ගැන ඔබ මොකද හිතන්නේ?

පිළිතුර: හොද තරුණ කණ්ඩායමක්. ටෙස්ට් එක්දින කණ්ඩායමේ හොඳ පළපුරුදු අය ඉන්නවා.  තව අවුරුදු 3ක් 4ක් යනවිට තව හොදින් ක්‍රීඩා කරයි. පිතිකරුවන්, පන්දු යවන්නන් ගත්තාම කණ්ඩායමක් හැටියට ඇත්තටම හොඳයි.

ප්‍රශ්නය: මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ධනාත්මක දේ ගොඩක් තිබුණා. නමුත් ඉදිරි පෙළ පිතිකරුවන් කිහිප දෙනකු අසාර්ථක වුණා. ඔවුන් ඉදිරියට ගන්නේ කොහොමද? අනික ඔබ ලකුණු 100 ගත්තාම විශේෂ සංඥාවකින් ප්‍රීතිය ප්‍රකාශ කළා. මොකක්ද ඒ?

පිළිතුර: පැතුම්, කමිඳු හා නිශාන් කියන්නේ කලින් තරගාවලියේදී ඉතාම හොඳින් ක්‍රීඩා කරපු තුන්දෙනෙක්. පැතුම් අද ලකුණු ගත්තා. ආකෘති තුනම ගහද්දී එක් ආකෘතියක ෆේල් වෙන්න පුළුවන්. මම මෙයට වඩා ෆේල් වෙලා ති‍යෙනවා. කව්රු හරි ක්‍රීඩකයෙක් ලකුණු ගන්නකොට අනික් අයගේ ධෛර්ය හා හැගීම වැඩි වෙනවා. මා දකින්නේ නෑ ඔවුන්ගේ වරදක්. පොඩි වැරදි ඇති. ක්‍රීඩකයෙක් තරගයක් දෙකක් ෆේල් වුණාම සාර්ථක අසාර්ථක බව මනින්න බෑ. මම 100 ගැහුව්වාම කළ සැමරීම පෞද්ගලික දෙයක්.

ප්‍රශ්නය: ඔබේ පිතිකරණ රටාවේ ලොකු වෙනසක් ති‍යෙනවා. මොකක්ද ඒ ?

පිළිතුර: ආරම්භ‍යේදී මම ටිකක් ඇටෑක් කරනවා තණතිල්ල හොඳ නිසා. අනික් පැත්තෙන් ලකුණු ආවේ නැති වුණොත් මම ටිකක් ගහලා පීඩනය අඩු කරනවා. ලොකු වෙනසක් කළේ නෑ. විස්සයි20 තරගයක් වගේ ක්‍රීඩා කළා.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee