slc
logo
Home   |    News
ජූලි 20, 2026
ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු කැප්ස් කණ්ඩායම අද (19 දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය කලම්බු පිල පන්දුවාර 19.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 182ක් රැස් කරමින් තරගය නිමා කළේ තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදීය.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණු ජනිත් ලියනගේ පන්දු 32කින් හතරේ පහර 6ක් හා හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 53ක් රැස් කළ අතර, ජේම්ස් නීෂම් පන්දු 36කින් හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 48ක් ලබා දෙමින් ජය තහවුරු කළේය.

ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53කදී නොබිඳුණු ලකුණු 100ක සබඳතාවක් ගොඩනැගූ අතර, එහි විශේෂත්වය වූයේ එම සබඳතාවේදී අතිරේක ලකුණු 22ක්ද ලැබීමයි. කැන්ඩි පන්දු යවන්නන් ලබාදුන් වයිඩ් 12ක්, නිපන්දු 2ක් සහ බයිස් හා ලෙග් බයිස් ලකුණු හේතුවෙන් කලම්බු ඉනිමේ අතිරේක ලකුණු සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගියේය.

ජේම්ස් නීෂම් සහ ජනිත් ලියනගේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ගොඩනැගූ ලකුණු 115ක සබඳතාවය, කොළඹ කැප්ස් (Colombo Kaps) කණ්ඩායම් විස්සයි20 ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වූ ඉහළම සම්බන්ධතාව ලෙසින්ද සනිටුහන් විය. මීට පෙර එහි හොඳම සම්බන්ධතාව වූයේ 2023 තරගාවලියේදී පැතුම් නිස්සංක සහ බාබර් අසාම් පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 111ක සබඳතාවයයි.

කෙසේ වෙතත් කලම්බු ඉනිම ආරම්භයේදී දැඩි පීඩනයකට ලක්විය. රුබින් හර්මන් ලකුණු 1කට දැවී ගිය අතර, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 2ක් ලබා සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය. ඉන් අනතුරුව සදීර සමරවික්‍රම ලකුණු 3කටත්, බෙන් මැක්ඩර්මට් ලකුණු 22කටත්, කමිඳු මෙන්ඩිස් ලකුණු 26කටත් දැවී යන විට කලම්බු පිල ලකුණු 67කට කඩුලු 4ක් අහිමි කරගෙන අසීරු තත්ත්වයක පසුවිය.

එහිදී පිටියට එක්වූ ජනිත් හා නීෂම් ඉවසීමෙන් සහ ප්‍රහාරාත්මක පිතිහරඹයක් සමඟ තරගයේ ගමන්මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළහ. අවසන් පන්දුවාර පහ තුළ වේගවත් ලකුණු රැස් කළ මෙම යුගලය, කැන්ඩි පන්දු යවන්නන්ගේ පීඩනය මැද සාර්ථකව ඉලක්කය පසුකර ගියේය.

කැන්ඩි රෝයල්ස් වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 29කට කඩුලු 2ක් දවාගත් අතර, ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ඊට පෙර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි රෝයල්ස් පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179ක් රැස් කළේය.

ඉනිම ආරම්භයේදීම කුසල් පෙරේරා (11), සෙදිකුල්ලා අටාල් (1) සහ ඩේල් ෆිලිප්ස් (1) ඉක්මනින් දැවී යාම හේතුවෙන් ලකුණු 31කට කඩුලු 3ක් අහිමිව කැන්ඩි පිල පීඩනයට ලක්විය. එම අවස්ථාවේදී ලහිරු උදාර සහ නායක ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම යළි ගොඩනැගූහ.

ලහිරු උදාර පන්දු 36කින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 53ක් ලබා අර්ධ ශතකයක් වාර්තා කළේය. ඔහුගේ අර්ධ ශතකය පන්දු 35කින් වාර්තා වූ අතර, එය ඔහුගේ ඉනිමේ කැපී පෙනෙන අවස්ථාවක් විය.

ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සහ මොයින් අලී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30කින් ලකුණු 50ක වේගවත් සබඳතාවක් ගොඩනඟා කැන්ඩි ඉනිම වේගවත් කළහ. මැතිව්ස් පන්දු 41කින් හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟ ලකුණු 45ක් ලබාගත් අතර, මොයින් අලී පන්දු 17කින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟ වේගවත් ලකුණු 41ක් රැස් කළේ 241.17ක ප්‍රහාරාත්මක වේගයකිනි. විජේ ශංකර්ද පන්දු 9කින් ලකුණු 15ක් එක් කළේය.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර කිහිපයේදී කලම්බු පන්දු යවන්නන් නැවතත් තරගය තමන් වෙත හරවා ගැනීමට සමත් වූහ. අවසන් පන්දුවාර තුන තුළ කඩුලු 5ක් බිඳ වැටීමත් සමඟ කැන්ඩි පිලට ලකුණු 179කට සීමා වීමට සිදුවිය.

කලම්බු පිල  වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත්තද ලකුණු 45ක් ලබාදුන්නේය. හසන් මහ්මුද් ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් මැදපෙළ බිඳ දැමූ අතර, ජේම්ස් නීෂම් කඩුලු 2ක් දවාගත්තේය. ඔහුගේ පන්දු යැවීමෙන් ලහිරු උදාර සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුලු බිඳ වැටීම තරගයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් විය.

තරගයේදී තෙවැනි විනිසුරු විමසීමේ  තීරණ දෙකක්ද කැපී පෙනිණි. කැන්ඩි ඉනිමේදී ඩේල් ෆිලිප්ස්ගේ කඩුල්ල මුවා කිරීමේ තීරණය සම්බන්ධයෙන් ලබාගත් සමාලෝචනය ප්‍රධාන විනිසුරුගේ නොදැවී යෑමක් සටහන් කළ බැවින් සාර්ථක නොවූ අතර, කොළඹ ඉනිමේදී ජේම්ස් නීෂම්ට එරෙහිව කැන්ඩිපිල ලබාගත් සමාලෝචනයද අසාර්ථක වීමෙන් ඔවුන්ට තවදුරටත් පිටියේ රැඳී යෑමට අවස්ථාව උදාවිය.

මීට අමතරව, අවසන් පන්දුවාරයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගය හේතුවෙන් කන්ඩි රෝයල්ස් කණ්ඩායමට දඩුවමක් ලෙස පිටත රැඳී සිටිය හැකි පන්දු රකින්නන් සංඛ්‍යාව අඩු කර, අමතර ක්‍රීඩකයෙකු වටය තුළ රඳවා ගැනීමට සිදුවීමද කොළඹ පිලට අවසන් මොහොතේ ලකුණු රැස් කිරීම තවත් පහසු කළ කරුණක් විය.

මෙම ජයත් සමඟ කොළඹ කැප්ස් කණ්ඩායම LPL 2026 තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කළ අතර, ජනිත් ලියනගේගේ වගකීම් භාරගත් ඉනිම සහ ජේම්ස් නීෂම්ගේ අත්දැකීම් බහුල නිමාව තරගයේ ජයග්‍රහණයට මූලික හේතුව බවට පත්විය.

කැන්ඩි රෝයල්ස් පන්දුවාර 20 කදී ලකුණු 179 යි – (ලහිරු උදාර 53, ඇන්ජලෝ මැතිව්ස් 45, මොයින් අලී 41, බිනුර ප්‍රනාන්දු 45/4, හසන් මහ්මුද් 31/3, ජේම්ස් නීෂම් 42/2)

කොළඹ කැප්ස් පන්දුවාර 19.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු  182/4 යි – (ජනිත් ලියනගේ 53*, ජේම්ස් නීෂම් 48*, කමිඳු මෙන්ඩිස් 26,  වනිඳු හසරංග 29/2, නුවන් තුෂාර 22/1)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee