slc
Home   |    News
මාර්තු 2, 2020
ධනංජය සහ ප්‍රදීප්ට විස්සයි-20 තරගාවලිය මඟ හැරෙයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 06 ක ජයග්‍රහණයක් වාර්තා කරන ලද තෙවැනි එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන ලද අවසන් ක්‍රීඩකයන් එකොලොස් දෙනා අතරට මොවුන් දෙදෙනාම ඇතුළත් වූ අතර එම තරගය අතරතුරදී ආබාධවලට ලක්වීම උක්ත තත්ත්වයට හේතු වී තිබේ.

මොවුන් දෙදෙනා අතුරින් ධනංජය ද සිල්වාගේ තත්ත්වය එතරම් භයානක නොවන අතර ඔහුට එළැඹෙන 19 වැනිදා එංගලන්තය සමඟ ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බව පවසන කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා, නුවන් ප්‍රදීප්ගේ තත්ත්වය බරපතල බව සඳහන් කර සිටියේය.

කොදෙව් ඉනිමේ 37 වැනි පන්දුවාරය යැවීමට කැඳවුම් ලද නුවන් ප්‍රදීප් තෙවැනි පන්දුව යොමු කිරීමත් සමඟ කළවයේ මස්පිඬු ඇදී යෑමේ ආබාධයකට ගොදුරු වූ බැවින් එම පන්දුවාරය සම්පූර්ණ කිරීම සඳහා තිසර පෙරේරා ව කැඳවීමට නායක දිමුත් කරුණාරත්නට සිදුවිය. භෞත චිකිත්සක අජන්ත වත්තේගමගේ ද වාරු ඇතිව ප්‍රදීප් පිටියෙන් ඉවතට යන විට පන්දුවාර 4 කුත් පන්දු 3 ක් යවා ලකුණු 22 ක් ලබා දී තිබුණේ කඩුල්ලක් දවා ගැනීමට අසමත්වෙමිනි.

කෙසේ වෙතත් මෙම තරගයේදී කැපී පෙනෙනම පිතිහරඹයක නියැළුණු ධනංජය ද සිල්වා පන්දු 47 කදී වේගවත් ලකුණු 51 ක් ලබා ගැනීමට සමත්විය. ඔහුගේ පිතිහරඹය ප්‍රධාන කොට ශ්‍රී ලංකාවට ලකුණු 300 ට වඩා ඉලක්කයක් කොදෙව් කණ්ඩායමට ලබාදීමට හැකියාව ලැබිණ. පිටිය තුළදී ආබාධයකට ලක් නොවුණද අතේ ඇතිවී තිබෙන ආබාධයක් නිසා ඔහු පන්දුවට පහර දී ඇත්තේද සුළු වේදනාවකින් බව කණ්ඩායම් කළමානාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“ධනංජයගේ අතේ ටික දවසක ඉඳන් පොඩි ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. ඒක තියාගෙන ඔහු ක්‍රීඩා කළත් යම් අවස්ථාවන්වලදී පන්දුවට පහර දෙනකොට එතනින් වේදනාවක් එනවා. කොදෙව් තරගයේදීත් එහෙම වුණා. ඉදිරියට එන එංගලන්ත සංචාරයෙදි ඔහු ගැන අවධානමක් ගන්න අපිට බැහැ. ඒ නිසා වෛද්‍යවරුන් කිව්වේ ඒ වෙනුවෙන් කළ යුතු ශල්‍යකර්මය ඉක්මනින්ම කරගන්න කියලා. ඒ නිසා අපි ඔහුට ඒ ශල්‍යකර්මය කරගන්න අවස්ථාව ලබා දුන්නා” යි අසන්ත ද මෙල් මහතා කරුණු දක්වා සිටියේය.

ධනංජයගෙන් හිස්වන ස්ථානය සඳහා කිසිවකුත් කණ්ඩායමට ආදේශ නොකරන බව සඳහන් කර සිටි තේරීම් කමිටු සභාපති ධුරයේද කටයුතු කරන ද මෙල් මහතා, නුවන් ප්‍රදීප්ගේ ස්ථානය සඳහා අසිත ප්‍රනාන්දුව කැඳවීමට පියවර ගත් බව සඳහන් කර සිටියේය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest