By Chamila Karawita
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 06 ක ජයග්‍රහණයක් වාර්තා කරන ලද තෙවැනි එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන ලද අවසන් ක්‍රීඩකයන් එකොලොස් දෙනා අතරට මොවුන් දෙදෙනාම ඇතුළත් වූ අතර එම තරගය අතරතුරදී ආබාධවලට ලක්වීම උක්ත තත්ත්වයට හේතු වී තිබේ.
මොවුන් දෙදෙනා අතුරින් ධනංජය ද සිල්වාගේ තත්ත්වය එතරම් භයානක නොවන අතර ඔහුට එළැඹෙන 19 වැනිදා එංගලන්තය සමඟ ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බව පවසන කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා, නුවන් ප්‍රදීප්ගේ තත්ත්වය බරපතල බව සඳහන් කර සිටියේය.
කොදෙව් ඉනිමේ 37 වැනි පන්දුවාරය යැවීමට කැඳවුම් ලද නුවන් ප්‍රදීප් තෙවැනි පන්දුව යොමු කිරීමත් සමඟ කළවයේ මස්පිඬු ඇදී යෑමේ ආබාධයකට ගොදුරු වූ බැවින් එම පන්දුවාරය සම්පූර්ණ කිරීම සඳහා තිසර පෙරේරා ව කැඳවීමට නායක දිමුත් කරුණාරත්නට සිදුවිය. භෞත චිකිත්සක අජන්ත වත්තේගමගේ ද වාරු ඇතිව ප්‍රදීප් පිටියෙන් ඉවතට යන විට පන්දුවාර 4 කුත් පන්දු 3 ක් යවා ලකුණු 22 ක් ලබා දී තිබුණේ කඩුල්ලක් දවා ගැනීමට අසමත්වෙමිනි.
කෙසේ වෙතත් මෙම තරගයේදී කැපී පෙනෙනම පිතිහරඹයක නියැළුණු ධනංජය ද සිල්වා පන්දු 47 කදී වේගවත් ලකුණු 51 ක් ලබා ගැනීමට සමත්විය. ඔහුගේ පිතිහරඹය ප්‍රධාන කොට ශ්‍රී ලංකාවට ලකුණු 300 ට වඩා ඉලක්කයක් කොදෙව් කණ්ඩායමට ලබාදීමට හැකියාව ලැබිණ. පිටිය තුළදී ආබාධයකට ලක් නොවුණද අතේ ඇතිවී තිබෙන ආබාධයක් නිසා ඔහු පන්දුවට පහර දී ඇත්තේද සුළු වේදනාවකින් බව කණ්ඩායම් කළමානාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
“ධනංජයගේ අතේ ටික දවසක ඉඳන් පොඩි ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. ඒක තියාගෙන ඔහු ක්‍රීඩා කළත් යම් අවස්ථාවන්වලදී පන්දුවට පහර දෙනකොට එතනින් වේදනාවක් එනවා. කොදෙව් තරගයේදීත් එහෙම වුණා. ඉදිරියට එන එංගලන්ත සංචාරයෙදි ඔහු ගැන අවධානමක් ගන්න අපිට බැහැ. ඒ නිසා වෛද්‍යවරුන් කිව්වේ ඒ වෙනුවෙන් කළ යුතු ශල්‍යකර්මය ඉක්මනින්ම කරගන්න කියලා. ඒ නිසා අපි ඔහුට ඒ ශල්‍යකර්මය කරගන්න අවස්ථාව ලබා දුන්නා” යි අසන්ත ද මෙල් මහතා කරුණු දක්වා සිටියේය.
ධනංජයගෙන් හිස්වන ස්ථානය සඳහා කිසිවකුත් කණ්ඩායමට ආදේශ නොකරන බව සඳහන් කර සිටි තේරීම් කමිටු සභාපති ධුරයේද කටයුතු කරන ද මෙල් මහතා, නුවන් ප්‍රදීප්ගේ ස්ථානය සඳහා අසිත ප්‍රනාන්දුව කැඳවීමට පියවර ගත් බව සඳහන් කර සිටියේය.