slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2020
එල්.පී.එල්. කිරුළ ග්ලැඩියේටර් ටද…? ස්ටැලියන්ස් ටද…?

sinhala editor

Chamila Karawita reporting from Hambantota

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන  My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමත් හෙට (16 දා) ප.ව. 7 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත.

අභිනව ශූරතාව එකිනෙකාගෙන් උදුරා ගැනීමේ අදිටනින් හෙට මුණ ගැසෙන කණ්ඩායම් දෙක එකිනෙකට වෙනස් මාවත් දිගේ පැමිණ අවසන් මහ තරග වරම දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක් වේ.  එහිදී ස්ටැලියන්ස් පිල තරගාවලි ගමන් මඟ පිට පිට ජයග්‍රහණ 4 කින් ආරම්භ කරමින් අවසන් සටනට පැමිණියද ගෝල් ග්ලැඩියේටර් පිල පළමු තරග 5 ම පරාජයට පත්ව සුවිශේෂී වූ අවසන් මහ තරගයට සුදුසුකම් ලදහ.

ලීග් තරග වටයේ අවසන් වරට සහභාගිවුණු තරග 2 න් ජැෆ්නා ස්ටැලියන්ස් පිල පරාජයට පත් වුණද එම තරග වලදී ඔවුන් සතු අතිරේක ක්‍රීඩක ශක්තිය මැන බැලීම කණ්ඩායම තුළ වෙනස්කම් සිදුකරමින් අවතීර්ණ වීමද මේ මොහොතේ අමතක කළ නොහැක. අවසන් මහ තරගයට පෙර ලීග් තරග වටයේ දෙපිළ මුණ ගැසුණු අවස්ථා 2 දීම ජය වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත් වුවත් අවසන් තරග වලදී ඊට හාත්පසින්ම වෙනස් ගමන් මඟක පැමිණි ගෝල් පිල අවසන් වරට සහභාගි වුණු තරග 2 ම ජය ගනිමින් අවසන් පූර්ව තරගයට යම් ජයග්‍රාහී ජීවයක් එන්නත් කර ගැනීමට සමත් විය.

කණ්ඩායම් ශක්තිය දෙස බැලීමේදී දෙපිළේම පිතිකරන ශක්තියට වඩා පන්දු යැවීමේ ශක්තිය කැපී පෙනෙන බැවින් අවසන් මහ තරගයේදී දෙපිළේම පිතිකරුවන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කුසලාන බලාපොරොත්තු රඳවා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

අද දිනයේදී ජැෆ්නා ස්ටැලියන්ස් පිල කිසිදු පෙර පුහුණුවීමක් සඳහා ක්‍රීඩාංගණයට පැමිණීමෙන් වැළකී සිටි නමුත් ගෝල් ග්ලැඩියේටර් පිල සිය සුපුරුදු පුහුණුවීම් සඳහා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සහභාගි වූයේ ආලෝක ධාරා මධ්‍යයේය.

ගෝල් ග්ලැඩියේටර්

ජැෆ්නා ස්ටැලියන් පිලට වනිඳු සතුවනවා වගේම ගෝල් ග්ලැඩියේටර් පිලට සිටින වටිනාම පන්දු යවන්නා වන්නේ වමත් දඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන්ය. වනිඳු මෙන් සඳකැන්ගේ දක්ෂතා කැපී නොපෙනුණු නමුත් තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන් අතර ඔහු තෙවැනි ස්ථානයේ පසුවෙයි. තරග 7 කට ක්‍රීඩා කර ඇති සඳකැන් කඩුලු 11 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 21.00 ක් රඳවා ගනිමිනි. සඳකැන්ට අමතරව නවක ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ මොහොමඩ් අමීර් එම ලැයිස්තුවේ පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථාන වල පසුවීම ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ පන්දු යැවීමේ ශක්තිය පිළිබඳ පැහැදිළි තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇත. මෙහිදී අමීර් සමඟ අනෙක් අන්තයෙන් පන්දු යවන නුවන් තුෂාරද අවසන් තරග කීපයේදී කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වීය.

පිතිකරණ ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ධනුෂ්ක ගුණතිලක තරගාවලිය තුළ පිත්තෙන් සිය ආධිපත්‍ය පතුරුවාලමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. පළමු තරග කීපයේදී සෙසු පිතිකරුවන් දක්ෂතා අතරට ඒමට අසමත්වද්දී ධනුෂ්ක හුදෙකලා වී සිටි නමුත් තරගාවලියේ අවසන් භාගය වනවිට නායක භානුක රාජපක්ෂ, අසාම් ඛාන්, ෂෙහාන් ජයසූරිය සහ ධනංජය ලක්ෂාන් පිතිකරුවන් ලෙස උපරිමයට පැමිණ සිටීම ගෝල් ග්ලැඩියේටර් පිලට සැනසිල්ලකි. මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ව සිටින ගුණතිලක තරග 9 කදී ලකුණු 475 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 67.85 ක් රඳවා ගනිමිනි. අර්ධ ශත 4 ක් රැස් කර ගැනීමට සමත්ව සිටි ගුණතිලකගේ ප්‍රහාරාත්මක වේගය 145.25 ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත් අද තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිලේ එක් වෙනස්කමක් බොහෝ විට සිදුවීමට ඉඩ තිබෙන අතර අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ චානක රුවන්සිරිගේ ස්ථානය සඳහා මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා කරවීමේ වැඩි ඉඩ කඩක් පවතියි. අවසන් මහ තරගයකට ක්‍රීඩා කිරීමේදී අත්දැකීම් ඉතා වැදගත් වන බැවින් එම වාසිය හෙට තරගයේදී මිලින්දට බොහෝ දුරට හිමිවනු ඇත.

භානුක රාජපක්ෂ

“ඇත්තටම මම කියන්න ඕන මේ තරගාවලියේ වැඩියෙන්ම අලුත් ක්‍රීඩකයින් ඉන්නේ අපේ කණ්ඩායමේ. ගොඩක් කට්ටිය අවුරුදු 5 ක් 6 ක් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයින්. ඒක නිසා ගොඩක් එකමුතුයි. අපේ එකමුතු කම හොඳ හින්දා තමයි තරග 5 ක් එක දිගට පැරදිලා වුණත් ඔලුව උස්ස ගන්න හම්බ වුණේ. ඒ වගේම නුවන් තුෂාර කණ්ඩායමට ආවට පස්සේ පන්දු යැවීමේ අංශයේ ලොකු වර්ධනයක් ඇති වුණා. ඒ වගේම ධනංජය ලක්ෂාන්, මොහොමඩ් අමීර් සහ ලක්ෂාන් සඳකැන් මැදින් ඇවිල්ලා විකට් අරන් දුන්න නිසා අපි දැන් හොඳ සමබර තාවරයෙන් ඉන්නවා. ඇත්තටම නායකයෙක් විදියට මට හෙට තරගයේදී” යි හෙට තරගයේදී තමන් ප්‍රධානම ශක්තිය පිළිබඳව අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පැවැසීය.

අපේක්ෂිත කණ්ඩායම – ධනුෂ්ක ගුණතිලක, අසාන් අලී, අසාම් ඛාන්, භානුක රාජපක්ෂ (නායක), සහන් ආරච්චිගේ, ෂෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, ධනංජය ලක්ෂාන්, මොහොමඩ් අමීර්, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර

ජැෆ්නා ස්ටැලියන්ස්

තවමත් 23 හැවිරිදි වියේ පසුවන වනිඳු හසරංග ඔවුන් සතු ප්‍රධානම ශක්තිය වේ. දඹුල්ල වයිකින්ස් ට එරෙහිව කඩුලු 3 ක් දවා ගනිමින් අවසන් මහ තරග වරම උදාකර ගැනීමට මාර්ගය පහසු කළ වනිඳු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වන්නේය. ඔහු මෙතෙක් තරග 9 කදී කඩුලු 16 ක් දවා ගෙන සිටින අතර පන්දුවාරයකදී ලබා දෙන ලකුණු සංඛ්‍යාවද 6 කට වඩා (5.27)  අඩුවෙන් රඳවා ගැනීමට සමත්ව සිටීම ඔහු සතු සුවිශේෂී දක්ෂාතවයක් ලෙස හැඳන්විය හැකි. ඔහුට අමතරව සුරංග ලක්මාල් සහ උස්මාන් ශින්වාරි ද වේග පන්දු යවන්නන් අතරින් කණ්ඩායමට වැඩි දායකත්වයක් දක්වනු ලබන අතර ඩුවෑනේ ඔලිවියර්ගේ සේවය පහසුවෙන් අමතක කළ නොහැක.

පිතිකරණ අංශයෙන් අවිෂ්ක ප්‍රනාන්දු කැපී පෙනෙන අතර අවසන් පූර්ව තරගයේදී ජොන්සන් චාල්ස් ද ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ඉක්මනින් බිඳ දැමීම ගෝල් ග්ලැඩියේඩර් ට වඩාත් යෝග්‍ය වනු ඇත. මෙතෙක් තරගාවලියේ ලකුණු 248 ක් ලබා ගැනීමට අවිෂ්ක සමත්වසිටින්නේ ඉනිම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 41.33 ක් සහ 137.1 ක ප්‍රහාරාත්මක වේගයක්ද සමඟිනි. තරගාවලියේ මෙතෙක් වැඩිම හයේ පහර සඛ්‍යාවක් එල්ල කර සිටින පිතිකරුවන් අතර ඉදිරියෙන්ම පසුවන්නේද අවිෂ්ක වන අතර ඔහු ඉනිම 7 කදී හයේ පහර 18 ක් සහ හතරේ පහර 16 ක් එල්ල කිරීමට සමත්ව සිටියි.

මූලික තරග වලදී නායක තිසර පෙරේරා ලකුණු අතරට පැමිණීමට සමත්වීම ජැෆ්නා කණ්ඩායමේ ජයග්‍රහණයන් පහසු කරවූ නමුත් අවසන් තරග කීපයේදී ඔහු කිසියම් පසුබෑමකට මුහුණ දුන්නේය. තරගාවලියට වැඩිම පෙර සූදානමක් සහිතව අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් පිලට කුසලාන බලාපොරොත්තු රඳවා ගැනීමට නම් තිසර දක්ෂතා අතරට පැමිණීම වඩාත් යෝග්‍ය වනු ඇත.

තිසර පෙරේරා

“අපි කොයි වෙලාවකවත් කිසිම කණ්ඩායමක් අව තක්සේරු කරන්නේ නෑ, මම කළින්ත කිව්වා මේ ගැන. එදා දවසේ මිස්ටේක්ස් අඩුවෙන් කරන කට්ටිය තමයි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ. මොකද ටී-20 කියන්නේ ගොඩක් වෙලාවට ‘වන්මෑන් ෂෝ’ කියලා කියන්නත් පුලුවන්. ඒ වගේම තමයි බෝලර් කෙනෙක්ටත් ඒ දේ කරන්න පුලුවන්. ඒ නිසා එකම බලාපොරොත්තුව වෙන්න ඕන පුලුවන් තරම් කඩුලු අතැතිව ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම තමයි. සෙමි ෆයිනල් එක දිනුවට පස්සේ කණ්ඩායමක් විදියට හොඳ මානසිකත්වයක සිටිනවා” යි තරගය පිළිබඳව අදහස් දක්වමින් නායක තිසර පෙරේරා පැවැසීය.

අපේක්ෂිත කණ්ඩායම – ජොන්සන් චාල්ස්, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, ෂොයෙබ් මලික්, චතුරංග ද සිල්වා, තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, උස්මාන් ශින්වාරි, ඩුවේන් ඔලිවියර්

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest