slc
logo
Home   |    News
දෙසැම්බර් 26, 2020
‘සෙන්චූරියන්හි සෙන්චරියක්’ ලද එකම ශ්‍රී ලාංකිකයා

sinhala editor

දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හි පිටියේ පැවැති තරගයේදී හෂාන් තිලකරත්න ශතකයක් ලබා ගත් මොහොත…

By Chamila Karawita

සෙන්චූරියන් යන නම ඇසූ සැණින් එය ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ හදවතට  කිට්ටු වන්නේ දකුණු අප්‍රිකාවේ ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයක් නිසාම නොවේ. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පල්ලකැලේ ඉදිකෙරුණු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බොහෝ සෙයින් සෙන්චූරි යන්හි ඉදිකර ඇති සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩාංගණයේ සැලසුමට සමානව ඉදි කර තිබීම, සෙන්චූරියන් යන නම බොහෝ දෙනාගේ හදවත් වල රැඳී තිබීමට හේතු වී තිබේ.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය  අදට යෙදී තිබෙන බොක්සිං දිනය හෙවත් දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකා වේලාවන් ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත. මාස 10 ක් තිස්සේ ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ද ගත කර දමන ලද අඳුරුතම කාල පරිඡේදයට හිරු එළියක් කැඳවමින් පැවැත්වෙන මෙම තරගය පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කර සිටින්නේ කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසු පැවැත්වෙන පළමු තරගය පමණක් නිසාම නොවේ. 2019 වසරේදී මෙහි පැමිණි අවස්ථාවේදී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම මත මෙවර තරගාවලිය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් තුළ වැඩි උනන්දුවක් ඇතිවීමට හේතු වී තිබේ. ‘සෙන්චූරියන්’ ක්‍රීඩාංගණය කරළියට පැමිණෙන්නේ එබැවිනි.

ඇත්තටම සෙන්චූරියන් පිටියේ වාසිය කාටද…?

සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක්හි මෙතෙක් පවත්වා ඇත් ටෙස්ට් ජවනිකා 25 දී වැඩිම අවස්ථා ගණනකදී වීරයින් බවට පත්ව සිටින්නේ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. 1995 වසර තරම් ඈතට විහිදී යන මෙහි ටෙස්ට් තරග ඉතිහාසයේ ඔවුන් ක්‍රීඩා කර ඇති තරග වලින් පරාජයට පත්ව ඇත්තේ අවස්ථා ද්විත්වයකදී පමණි. එම තරග 25 අතරට ශ්‍රී ලංකා කණ්ඩායමද අවස්ථා 4 කදී ප්‍රතිවාදීන් වී තිබෙන නමුත් එම අවස්ථා සියල්ලෙන්ම ශ්‍රී ලංකාව පරාජය කිරීමට දකුණු අප්‍රිකානු පිල සමත්ව ඇත්තේ තරග 2 කදී ඉනිමක ජයග්‍රහණ ලබා ගනිමිනි.

මෙම ක්‍රීඩාංගණ ඉතිහාසය ගෙන බැලීමේදී පිතිකරුවන් සිව් දෙනෙක් පමණක් ශතක වාර්තා කිරීමට සමත්ව සිටින අතර ඉන් තිදෙනෙක් දකුණු අප්‍රිකානුවෝ වෙති. ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙන්චූරියන්හි ශතකයක් ලද එකම හිමිකරුවා වන්නේ හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්නය. 2002 වසරේ පැවැති තරගයේදී හෂාන් තිලකරත්න නොදැවී ලකුණු 104 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. පැය පහමාරකට අධික කාලයක් කඩුල්ලේ රැඳී සිටි වමත් පිතිකරුවා මෙතෙක් ශ්‍රී ලංකා පිතිකරුවකු සෙන්චූරියාහි ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා පන්දු 231 කට මුහුණ දුන්නේය.

“ඒ තරගයට යනකොට බැට්ස්මන් කෙනෙක් හැටියට තණතීරුවෙන් අපිට මොනවද ලැබෙන්නේ කියන එක ගැන මට දළ අදහසක් තිබුණා. එක තැනකදි කියවුණා අපිට එහෙදි ‘ඩ්‍රයිව්’ කරනව නම් ඒ අවස්ථාව ලැබෙන්නේ හෝටලයේ ඉඳලා ග්‍රවුන්ඩ් එකට යන ‘ඩ්‍රයිව්’ එක විතරයි කියලා. ඒ කියන්නේ එහෙ සෙල්ලම් කරනවා නම් අපිට ඩ්‍රයිව් පහර එල්ල කරන්න හම්බ වෙන්නේ නැති තරම්. බැක් ෆුට් එක, එහෙමත් නැත්නම් පසුපස පාදයේ පහරවල්  තමයි අපිට වැඩි හරියක් ක්‍රීඩා කරන්න වෙන්නේ. එයාලාගේ පන්දු යවන්නන් බලන්නෙත් අපිව කොහොම හරි පස්සට තල්ලු කරලා තල්ලු කරලා ඉස්සරහට දාන බෝලෙන් දවා ගන්න. අපි එතැනදි තමයි පරෙස්සම් වෙන්න ඕන. සෙන්චූරියන්වලදී ලබා ගත්ත ශතකය මට ගන්න පුලුවන් වුණේ ඒ ගැන සැලකිල්ලක් දක්වපු නිසයි” යැයි එම ක්‍රීඩාංගණයේ එකම ශතක ලාභියා වන හෂාන් තිලකරත්න මහතා තම මතකය අවධි කළේය.

ෂෝන් පොලොක්ගේ නායකත්වයෙන් යුතුව තරග වැදි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පොලොක්ට අමතරව, මකායා එන්ටිනි, ස්ටීව් එල්වර්ති, ජැක්ස් කලිස් සහ ඇන්ඩෘ හෝල් වේග පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කළහ. මෙම තරගයෙන් ශ්‍රී ලංකා පිලට කඩුලු 3 ක පරාජයක් හිමි වුවද තිලකරත්න මහතාගේ ඉනිම ප්‍රධාන කොට සෙන්චූරියන් පිටියේ දකුණු අප්‍රිකානු පිල හමුවේ ලද අවම පරතරයක් සහිත පරාජය ලෙසින් සනිටුහන් විය.

“මම ලොකුවට කට් සහ පුල් පහර ගහන කෙනෙක් නොවෙයි. ඒත් මගේ ශක්තිය වගේම දුර්වල තැන් ගැනත් මා තුළ අවබෝධයක් තිබ්බා. එයාලා මාව බැක් ෆුට් එකට තල්ලු කරන්න තල්ලු කරන්න මම කළේ අවශ්‍ය බෝලෙට ගහලා අනිත් හැම බෝලයක්ම අත ඇරපු එක. මට පහර එල්ල කළ හැකි කළාපයට පන්දු යවන්නෝ පන්දුව දාන කල්ම මම කළේ ඒක. එහෙම කළාම එයාලා කරන්නේ බෝලෙ ටික ටික ඉස්සරහට දාලා මාව පහරකට පොළඹවගන්න උත්සාහ කරපු එක. ඒක ඒගොල්ලොන්ට පුරුදු නැති දෙයක්. මොකද එයාලා එකම ලෙන්ත් එකක (පන්දුව පතිත කරන ස්ථානය) තමයි හැමදාම, උදේ හවස බෝල් කරන්නේ. මම බෝලෙ අත අරින්න අතරින්න එයාලා පන්දුව පතිත කරන තැන ඉස්සරහට කළා. එතැනදි මම තව දෙයක් කළා. සැලස්මක් හදා ගත්තා කාටද ගහන්න ඕන කාටද ගහන්නේ නැත්තේ කියන එක ගැන. මොකද ඒ තරගයෙදි වේග පන්දු යවන්නම් 5 දෙනෙක්ම ක්‍රීඩා කරපු නිසා. එදා දවසේ මම දාපු ප්ලෑන් එක හරියටම වැඩ කළා”යි තිලකරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 83 කට ක්‍රීඩා කර ඇති හෂාන් තිලකරත්න මහතා ඉනිම 131 කදී ලකුණු 4545 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.87 ක් රඳවා ගනිමිනි. ශතක 11 ක් සහ අර්ධ ශතක 20 ක්ද රැස් කර ඇති වමත් පිතිකරුවා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2001 වසරේදී කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති තරගයේදී නොදැවී රැස් කරන ලද ලකුණු 204 ක ඉනිම සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක් කරගෙන තිබේ.

අද තරගයේදී සෙන්චූරියන් ක්‍රීඩාංගණය දකුණු අප්‍රිකානු පිලට වැඩි පක්ෂපාතීත්වයක් දැක්වීම නිරායාසයෙන්ම සිදුවන්නක් බැවින්, එය අභිබවා යමින් තරගයේ වැඩි වාසි තමන් සංතකයට ගැනීමට දිමුත් ඇතුළු පිරිවර අධිෂ්ඨාන කරගත යුතුය. නොදැවී ලකුණු 153 ක් ලබා ගනිමින් ඩර්බන්හි වීරයා වුණු කුසල් පෙරේරා ද මෙම තරගයේදී ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා පිලේ මානසික මට්ටම ඉහළ තලයක පවත්වාගෙන යෑමට අතිරේක වාසියක් ලෙසින් සැලකිය හැකි නමුත්,  ශ්‍රී ලංකා පිල මතකයේ තබා ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ ඔවුන් මෙවර තරග වදින්නේ ඩර්බන් හෝ පෝර්ට් එලිසබෙත්හි නොව අතිශයින්ම වේග පන්දු යවන්නන්ට දායකත්වයක් ලබා දෙන සෙන්චූරියන්හිදී බවය.

දෙපිළම මෙම තරගයට අවතීර්ණ වන්නේ කොවිඩ් වසංගතය මත ක්‍රීඩාවෙන් මාස 10 ක කාලයක් හුදෙකලා වීමෙන් පසුවය. අද දිනයේ දිමුත් ඇතුළු පිරිවර මුණ ගැසෙන්නේ කුවින්ටන් ඩි කොක්ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු පිලයි. දකුණු අප්‍රිකානු නායකයා තරග 200 කට අධික ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති ක්‍රීඩකයකු වුවත්, ඔහු නායකත්වයට ආධුනිකයෙකි. ක්වින්ටන් කෙතරම් ආධුනිකයෙක් දැයි කිවහොත් ඔහු සුදු පන්දුවේ තරග වලදී නායකත්වය හදාරා ඇතත් පළමු පෙළ තරගයකදී හෝ නායකයකු ලෙස කටයුතු කිරීමට වරම් නොලැබූවෙකි. එබැවින් ශ්‍රී ලංකාවට එරෙහිව සටනක් දීමට ඩි කොක් මාර්ගයක් සොයා ගත යුතු වන්නේ ඔවුන් සතු ප්‍රධානතම වේග පන්දු යවන්නා වන කගිසෝ රබඩා නොමැතිවය.

“අපේ අය ඔලුවේ තියා ගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ විකට් එකේ ඩ්‍රයිව් පහරවල් එක පාරට ගහන්න බෑ කියන එක. ඒ වගේම තමන් සතු ශක්තිය සහ දුර්වල තාවය ගැන අවබෝධය තමන් තුළ තියෙන්න ඕන. අපි බැලුවොත් ආසියානු විකට් වල ක්‍රීඩා කරන පිතිකරුවන්ට දකුණු අප්‍රිකාවේදී පන්දු යවන්නේ කොහොමද කියන එක ගැන හැමෝ තුළම අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තියාගෙන තමන්ගේ දක්ෂතාවය හරි විදියට අඳුරගෙන ක්‍රීඩා කළොත් අපිට වැඩි සාර්ථකත්වයකට ළඟා වෙන්න පුලුවන්. එක එක්කෙනාගේ දක්ෂතා වෙනස්. මං කළින් කිව්වා වගේ ඩ්‍රයිව් කරනවා කියන්නේ හොටෙල් එකේ ඉඳලා ග්‍රවුන්ඩ් එකට එන ඩ්‍රයිව් එක විතරයි එයාලා අපිට දෙන්නේ. ඒ කතාවේ ලොකු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා. ඒ ගැන හිතලා අපි ඉවසීමෙන් සහ අවබෝධයෙන් ක්‍රීඩා කළ යුතුයි”

වත්මන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ තිලකරත්න මහතා දකුණු අප්‍රිකානු තණතීරුවල පන්දුවට පහර දීමේදී ඉවසිලිවන්ත භාවය ඉතාමත් වැදගත් සාධකයක් වන බවද සඳහන් කර සිටියේය.

“එතැනදි පසුපස පාදයේ ක්‍රීඩා කිරීම වගේම ලෙග් සයිඩ් එකෙන් (පා ඉන්න ප්‍රදේශයෙන්) පහර එල්ල කරලා ලකුණු ලබා ගන්න උනන්දු වෙන්න ඕන. අපිට ලෙග් එකට ගහන්න පුලුවන් නම් ඒ පැත්තේ ඉන්නේ පන්දු රකින්නන් තුන් දෙනයි. ඒ පැත්තට ගහන්න අමාරු නිසා තමයි අපි ඕෆ් සයිඩ් එක පැත්තට ගහන්නේ. මේ විකට් වල ඕෆ් සයිඩ් එකට ගහනවා කියන්නේ අපේ මරණ සහිතකය අපිම ලියා ගන්නවා වගේ වැඩක්. කුසල් (පෙරේරා) ගහපු විදිය මතකද…? ඒ වගේ ගොඩක් ලෙග් එකට ඇටෑක් කළොත් හරි. නමුත් එතැනදි මතකයේ තියාගන්න ඕන ඒ තණතීරු සහ මේ තරගාවලියේදී හම්බවෙලා තියෙන තණතීරු වෙනස් කියන එක. කළින් වතාවේ ක්‍රීඩා කළ ඩර්බන් සහ පෝර්ට් එලිසබෙත් විකට් වලට වැඩිය සෙන්චූරියන් සහ වොන්ඩරස් විකට්ස් වෙනස්. ඒවයේ දෝලනය වගේම ලොකු ඉපිලීමක් තියෙනවා. ඒක නිසා තමන්ගේ ස්ථානයට පන්දුව දාන කම්ම පන්දුව අත ඇරලා ඉවසගෙන පන්දුවට පහර දෙන්න උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් එයාලා පන්දුව වට්ටන තැන වෙනස් කරනවා. මොකද එයාලා බෝලෙ අතාරිනවාට කැමැති නෑ. ඒ වගේ එක එක්කෙනා තම තමන්ට ගැලපෙන විදියට පොඩි පොඩි සැලසුම් දාගත්තොත් මේ ගේම් එක අපිට වාසි වෙන විදියට කැරකැවෙයි” යැයි සෙන්චූරියන් තණතීරුවේදී පන්දුවට පහර දීමේදී තමන් සතු අත්දැකීම් හෂාන් තිලකරත්න මහතා බෙදා ගත්තේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest