slc
logo
Home   |    News
දෙසැම්බර් 25, 2020
‘වේග පන්දු යවන්නන්ගේ සටනේ තීරණාත්මක සාධකය පිතිකරුවන්’ – දිමුත් කරුණාරත්න

sinhala editor

By Chamila Karawita

ඔබ මේ ලිපිය කියවන විටත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට ඉතිරිව ඇත්තේ පැය 48 කටත් අඩු කාලයකි. දෙපිළේම ක්‍රීඩකයින් මූලික වශයෙන් ක්‍රීඩකයින් 13 දෙනා බැගින් නම් කොට අවසන් සංයුතිය සැකසීමට සූදානම් වන මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාව සතු සුභදායීම කරුණ බවට පත්ව තිබෙන්නේ මීට මාස 18 කට පෙර පැවැති තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල ඔවුන්ගේ නිජ බිමෙහිම පරාජයට පත් කිරීමට සමත්වීමය. එම තරගාවලිය නියෝජනය කරනු ලැබූ දෙපිළේ ක්‍රීඩකයින් වැඩි හරියක් මෙම තරගාවලියේදීද දෙපිළම නියෝජනය කිරීම, ලද පරාජයේ වාඩුව ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමත් දිනා සිටින කිරුළ රැක ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමත් සිය උපරිම ශක්තීන් භාවිතා කරනු ඇත.

මෙතැනදී පැන නැගෙන ගැටළුව වන්නේ ඉකුත් තරගාවලියේදී තිබූ වාසිය මෙම තරගාවලියේදීත් එලෙසින්ම ශ්‍රී ලංකා පිලට ලැබේද…? යන්නය. සැබැවින්ම එය එසේ නොවන්නේ ඉකුත් වතාවේ තරග පැවැති ක්‍රීඩාංගණවල තත්ත්වයන්ට හාත් පසින්ම වෙනස් හෙවත් වේග පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් ලබා දෙනු ලබන ක්‍රීඩාංගණ දෙකක මෙවර තරග 2 පැවැත්වීමයි. දකුණු අප්‍රිකානුවන් ඔවුන්ගේ මව්බිමේදී පරාජයට පත් කළ පළමු ආසියානු කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාස ගත වුණු එම තරගාවලියේ තරග 2 දඟ පන්දු යවන්නන්ට උචිත ලෙසින් හැසිරෙන පෝර්ට් එලිසබෙත් සහ ඩර්බන් ක්‍රීඩාංගණ වලදී පැවැත්වුණත් මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන්නේ ලොව වඩාත්ම වේගවත් තණතීරු 2 ක් ලෙසින් නම් දරා සිටින සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් සහ වොන්ඩරස් යන ක්‍රීඩාංගණවලදීය.

මෙකී ක්‍රීඩාංගණ වල තරග කිරීමට සිදුවීමේදී ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමක් යම් කිසි තිගැස්මකට පත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. මෙම තණතීරුවල පවතින ඇදහිය නොහැකි වේගය සහ ඒ හා සමානවම පන්දුව ඉපිලීමකින්ද යුක්ත වීම එයට හේතුවන කරුණු වෙති. කෙසේ වෙතත් මේ සියල්ලටම පූර්ව සූදානමක් ලෙසින් වෙනත් තරගාවලිවලදී අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික රටාවෙන් ඔබ්බට යමින් ක්‍රීඩකයින් 22 දෙදෙනෙක් තරගාවලියට පිටත් කර යැවීම සඳහා සූදානම් කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව ඉලක්ක කර ගනිමින් පැහැදිළි දැක්මක් සහිතව කටයුතු කරනු ලබන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ගත් ඒ තීරණය නිසා සත්කාරකයින් ලබා දෙන ඕනෑම අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ සිය කණ්ඩායම් සංයුතිය සකසා ගැනීමට  පහසුම අවස්ථාවක් නායකයාට සහ පුහුණුකරුට හිමිව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියට පෙර ආබාධයකට මුහුණ දීම මත සංචිතය 21 දක්වා අඩු කෙරුණද ඕනෑම තත්ත්වයක් හමුවේ කණ්ඩායම තෝරා ගැනීමට ඕනෑ තරම් කණ්ඩායම තුළ සම්පත් වේ. එහි වේග පන්දු යවන්නන්ම 7 දෙනෙකි. ඉන් ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු පැයට කිලෝ මීටර 145 කට අධික වේගයෙන් පන්දු යැවීමට හැකි පන්දු යවන්නෝය. කණ්ඩායමේ වඩාත් පළ පුරුදුම පන්දු යවන්නා වන සුරංග ලක්මාල් මෙන්ම අවසන් වතාවේදී දකුණු අප්‍රිකානු පිල සුණු විසුණු කළ දැමූ පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු ලාභීන් දෙපළ වුණු වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ දකුණතින් වේග පන්දු යවන කසුන් රජිතගේ සහායද මෙවරත් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

සැබැවින්ම වේග පන්දු යැවීමේ ශක්තිය පිළිබඳව ඉකුත් තරගාවලිය හා සංසන්දනාත්මකව බැලීමේදී වඩා වැඩි ශක්තියක් මෙවර ශ්‍රී ලංකා පිලට ලැබී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටින්නේ සත්කාරකයින් සතු දේශීය වාසීන්ට මුහුණ දීම සඳහා විකල්පයන් තම කණ්ඩායම සතු නොවන බව ප්‍රතිවාදීන්ට හැඟී ගියහොත් ඔවුන් එය වාසියකට හරවා ගන්නා නමුත් වත්මන් කණ්ඩායම සතු ශක්තිය දෙස බැලීමේදී  එහි වාසිය දෙපිළමට සියයට 50 බැගින් බෙදී යන බව සඳහන් කර සිටියි.

“අපි සෙල්ලම් කරන සෙන්චූරියන් සහ වොන්ඩරස් විකට් ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නන්ට තමයි දායකත්වය ලබා දෙන්නේ. මට මතකයි අපිට ගිය පාර මේ තරම් ඔප්ෂන්ස් (විකල්ප) තිබ්බේ නෑ. අපිට ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර හිටියේ නෑ. නමුත් අපිට මේ පාර ඒ දෙන්නගේම ශක්තිය තියෙනවා. මේ වගේ රටකට ඇවිල්ලා ක්‍රීඩා කරනවා කියන්නේ වේග පන්දු යවන්නන්ගේ වැඩි දායකත්වයක් තියෙන්න ඕන. අපේ පන්දු යවන්නන්ගේ වේගය සහ ඉපිලීම නෑ කියලා ප්‍රතිවාදීන් දැන ගත්තොත් එයාලා ඒ වාසියම අපිට එරෙහිව පාවිච්චි කරනවා. නමුත් මේ පාර ඒක වෙනස්. අපි ගාවත් හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා. ඒක නිසා මම දකින්නේ මේ තරගාවලියේ එයාලගේ වේග පන්දු යවන්නන් සහ අපේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා 50 ට 50 වගේ සමානව තියෙන්නේ” යැයි දිමුත් තමන් සතු වේග පන්දු ශක්තිය පිළිබඳව විග්‍රහ කර සිටියි.

එකම ශක්තීන් දෙකක් දෙපාර්ශ්වයම භාවිතා කිරීමේදී මෙහි වැඩි වගකීමක් පිතිකරුවන් අතට පත්වනු ඇති බව සිය විශ්වාසය බව පවසන ශ්‍රී ලංකා නායකයා සමස්ත තරගාවලිය නියෝනය කරනු ලබන පිතිකරුවන් අතරින් හොඳට කිරීමට සමත්වන කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවද සඳහන් කර සිටියේය.

“මේක ගොඩක් වෙලාවට පිතිකරුවන්ගේ තරගාවලියක් වෙයි කියලා මං හිතනවා. කොයි කණ්ඩායමේ පිතිකරුවන්ද හොඳට ලකුණු අතරට එන්නේ, මං හිතනවා ඒ කණ්ඩායමට තමයි මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් තියෙන්නේ” යි දිමුත් පවසයි.

වසරකට ආසන්න කාලයක් ටෙස්ට් තරගයක් තබා කිසිම තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලබා සිටින ශ්‍රී ලංකා නායකයාට තරගය ආරම්භයට කණස්සල්ලට හේතු වී තිබෙන එකම ගැටළුව වන්නේ කණ්ඩායම සතු පළපුරුදම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් සුලු පාදයේ ආබාධයකට ලක්ව සිටීමයි. “ලක්මාල්ට පොඩි ඉන්ජරි එකක් ඇවිල්ලා. එයා පළවැනි තරගය ගහනවද නැද්ද කියන එක තාම විශ්වාස නෑ. ඒ ඇරෙන්න අනිත් අය හොඳ ෆිට් එකේ ඉන්නවා. කොහොමත් අපි හෙට වෙනකොට අන්තිම 11 නම් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට ළහිරු කුමාරත් එක්ක සුරංග ෆිට් නම් ඔහු ක්‍රීඩා කරනවා. නැත්නම් ඒ අවස්ථාව ගොඩක් වෙලාවට විශ්ව ප්‍රනාන්දුට ලැබෙයි” යැයි දිමුත් පවසයි.

ලොව අංක 1 වේග පන්දු යවන්නා ලෙසින් සැලකෙන කාගිසෝ රබඩා දකුණු අප්‍රිකානු පිල සතු වුවද අවසන් වරට දෙපිළ මුණ ගැසුණු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ විශ්ව ප්‍රනාන්දුය. තරග 2 ටම ක්‍රීඩා කළ විශ්ව කඩුලු 12 ක් බිඳ හෙළනු ලබන්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 18.91 ක් ලෙස රඳවා තබා ගනිමිනි. ඔහුට දෙවැනි වූ කසුන් රජිත තර 2 කදී කඩුලු 9 ක් බිඳ හෙළා එහි දෙවැනි ස්ථානයේ පසු වූ අතර තරග 2 කදී කඩුලු 8 ක් බිඳ හෙළීමට සමත්වූ රබඩාට හිමිවූයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ තුන්වැනි තැනය.

අවසන් වරට මෙම වසරේ පෙබරවාරි මසදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මේ වන තෙක් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැත. වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝමයක් එල්.පී.එල්. වරම් ලැබුවද විස්සයි-20 තරග අංශයට කිසිදු නැඹුරුවක් නොමැති ශ්‍රී ලංකා නායකයාට තරගකාරීත්වයෙන් අසීමිත වූ එම තරගාවලියද ආලින්දයේ සිට නැරඹීමට සිදුවිය.

“පෞද්ගලිකව ගත්තොත් සිම්බාබ්වේ එක්ක තිබුණු ටෙස්ට් තරගාවලියෙන් පස්සේ මම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරලා නෑ. ඒ වගේම දේශීය තරගාවලිය තරග පැවැති කාල සීමාවෙදිත් මම ආබාධයකට ගොදුරු වුණු නිසා මට ඒකට ක්‍රීඩා කරන්නත් බැරි වුණා. ඒ නිසා මේ තරගාවලියෙදි මමත් ටිකක් කලබලයට පත් වෙලා ඉන්නේ. පොඩි බයකුත් තියෙනවා. මං හිතන්නේ හැමෝටම ඒක ඇති. මොකද ලේසි නෑ අවුරුද්දකට විතර පස්සේ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්වලින් කෙළින්ම ටෙස්ට් මැච් එකකට ක්‍රීඩා කරන්න. ලොකු අභියෝගයක්. අපි ගොඩක් පුහුණුවීම් කරනවා. මහන්සි වෙනවා. මෙහේ ආවම මේ තත්ත්වයන්ට හුරු වීම අමාරුයි. නමුත් අපි වෙනදට වඩා ගොඩක් උත්සාහයක් කරනවා ඉක්මනින්ම මේ තත්ත්වයන්ට හුරු වෙන්න. අපි ඔක්කොගෙම සැලසුම වෙලා තියෙන්නේ හොඳ තරගයකට ක්‍රීඩා කරන්න”යි දිමුත් තමා ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳව වැඩිදුරටත් සිය අදහස් ගෙන හැර දැක්වීය.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින් සමන්විත වන අතර එහි පළමු වැන්න සැප්තැම්බර් 26 වැනිදා සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට්ස් පාක් හිදීද දෙවැන්න ලබන ජනවාරි 03 දා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේදීත් ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee