slc
logo
Home   |    News
පෙබරවාරි 15, 2021
ක්‍රිකට් බෝඩ් එක මාරු කළාට වැඩක් නෑ. තරග දිනන්න නම් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි

sinhala editor

– මුරලිදරන්ගෙන් ක්‍රීඩකයින්ට හරවත් දේශනයක්

තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින වර්තමාන ‘ක්‍රිකට් කමිටුවේ’ සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු ලබන ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුරලිදරන්, වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආකල්ප අභිප්‍රේරණය කිරීම සඳහා පැවැති වැඩසටහනකදී ඉහත අදහස් පළ කර සිටියේය.

“ඇත්තටම ගත්තොත් අපි ගහපු ක්‍රිකට් එක, දැන් තියෙන එකට වඩා ගොඩක් වෙනස්. එහි හිතන විදිය සහ කල්පනා කරන විදිය වෙනස්. ඒ වුණාට ක්‍රිකට් එකේ ආකල්පවල කිසිම වෙනසක් වෙලා නෑ” යැයි පවසා සිටින මුරලිදරන් මහතා, “මම හිතන්නේ දක්ෂතාවල කිසිම අවුලක් වෙලා නෑ. හොඳට බැට් කරන්න පුලුවන් කට්ටිය ඉන්නවා. හොඳට දඟ පන්දු යවන්න පුලුවන් අය ඉන්නවා. කවදාවත් නැති විදියට තුන් ඉරියව් ක්‍රීඩකයින් ඉන්නවා. කොටින්ම කියනවා නම් විකල්ප ගණනාවක් තියෙනවා” යි මුරලි සඳහන් කර සිටියේය.

ජාතික පුහුණු සංචිතයට ඇතුළත් කොට තිබෙන ක්‍රීඩකයින් 36 දෙනාගෙන් ළහිරු තිරිමාන්න හැරුණු විට සෙසු සියළුම ක්‍රීඩකයින් මෙම වටිනා අවස්ථාවට සහභාගිවී සිටියහ. ක්‍රීඩකයින්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ක්‍රිකට් ආයතන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතාද සහභාගිවී සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මුරලිදරන් මහතා, “මෙතැනදී අවශ්‍ය වන්නේ ඔයාලා දක්ෂතා අතරට පැමිණීමයි. පිතිකරුවෙක් එයාගේ කැරියර් එක ඉවර වෙන කොට ශතක 30 ක් හෝ 40 ක් ගහලා තියෙන්න ඕන. අන්න එහෙමයි අපි ප්ලෑන් කළේ. එහෙම නැතුව නිකං නමට ගහලා වැඩක් නෑ. ඔයාලා එකලොස් දෙනා එහෙම ඉඳලා කරනකොට අඩුම ගාණේ 60% ක් විතර තරග දිනන්න පුලුවන් වෙනවා. මම කියන්නේ නෑ 100% ක් දිනන්න කියලා. එහෙම කරන්නත් බෑ. මොකද අනිත් අයත් පුහුණුවීම් කරනවා. වගේම දක්ෂයි. නමුත් ඔයාලා උපරිම බලන්න ඕන එතනට ගියහම දක්ෂතා දක්වන්න අවස්ථාව ගන්න. ඔයාලා ඒ අවස්ථාව ගන්නේ නෑ” යි සඳහන් කර සිටියේය.

ක්‍රිකට් ක්‍රීඩාවේදී මනස යහපත් ලෙස තබා ගැනීම ඉතා වැදගත් බව මෙම වැඩසටහනේදී පෙන්වා දුන් ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියාගේ වාර්තාවට හිමිකම් කියන මුරලිදරන් මහතා, මනස හරියාකාරව තබා නොගෙන මොන දේ කළද ඉන්න ඵලක් නොවන බව පවසයි.

“මේ හැම දේටම වැදගත් වෙන්නේ මනස. මනස හරියට තියාගන්න බැරි නම් මං හිතන් නෑ අපි කොච්චර දක්ෂ පුහුණුකරුවන් ගෙනාවත් වැඩක් නෑ. පුහුණුකරුවෝ නොවෙයි ක්‍රිකට් ගහන්නේ. ඔයාලයි. ඔයාලා තමයි 90% ක්ම පිළිතුරු දෙන්න ඕන. නැතුව එළියේ ඉන්න කට්ටියට, ක්‍රිකට් බෝඩ් එක මාරු කරා කියලා ඕකට පිළිතුරු දෙන්න බෑ. අපි කොච්චර කමිටි දැම්මත් අපිට ඇවිල්ලා මෙතන ක්‍රීඩා කරන්න බෑ. ඔයාලා තමයි ආකල්පමය වෙනසක් සමඟ ක්‍රීඩා කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ අලුත් ක්‍රීඩකයින් ටිකක් කණ්ඩායමට ගෙනල්ලා ක්‍රීඩා කරවන එක. එතකොට ඒ ටික හරි අලුතින් හැදෙයිනේ. ඒක නිසා මම කියන්නේ මොන දේ වුණත් ඔයාලා හෙල්ලෙන්නේ නැතුව තමන්ගේ යුතුකම හරියට කරන්න. එහෙම වුණොත් යළිත් අපි හිටපු පරණ තත්ත්වයටම ආයිත් එන්න පුලුවන්” යි මුරලිදරන් මහතා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest