slc
logo
Home   |    News
මාර්තු 13, 2021
ජයග්‍රහණය අවසන් පන්දුවාරයේදී ගිලිහෙයි

sinhala editor

පිට පිටම දෙවැනි වතාවටත් ආරම්භක කඩුල්ල වෙනුවෙන් විශාල සම්බන්ධතාවයක් පැවැත්වීමට එවින් ලුවිස් සහ ෂායි හෝප් සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (13 දා) සමත්විය.

පන්දු 225 කදී ගොඩනැංවුණු ලකුණු 192 ක සම්බන්ධතාවය හේතුවෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම තවත් පන්දු 2 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගැනීමට හැකියාව ලැබිණ. 2014 වසරෙන් පසු කොදෙව් කණ්ඩායමක් පිට පිටම තරග 2 ක් ජයගනු ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ලද මෙම ජයග්‍රහණයත් සමඟ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය 2-0 ක් වශයෙන් ජයගැනීමටද සත්කාරක කණ්ඩායමට අවස්ථාව උදාවිය.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවයෙන් සත්කාරක කණ්ඩායම කිසියම් ආධිපත්‍යයක් ගොඩ නඟා ගැනීමට සමත් වුවත් පන්දු 8 ක් තුළ ආරම්භක පිතිකරුවන් යුගලය දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීමත් සමඟ තරගය ජය යළිත් වරක් දෙපිළටම දෝලනය විය. ඒ අනුව යමින් තවත් කඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබීම මත අවසන් පන්දු 18 ඇතුළත ලකුණු 31 ක් ලබා ගැනීමේ අභියෝගය කොදෙව් පිල හමුවේ තිබිණ.

කෙසේ වෙතත් අවසන් පන්දුවාරය වන විට එය පන්දු 6 කදී ලකුණු 9 ක් වශයෙන් සටහන් වූ අතර නුවන් ප්‍රදීප් විසින් යවන ලද පළමු පන්දු 2 ට හතරේ පහර 2 ක් සහ ඊළඟ පන්දුවට ලකුෂණක් ලබා ගැනීමට නිකලස් පූරාන් සමත්වීම නිසා ශ්‍රී ලංකා පිලට අවසන් මොහොතේ පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ප්‍රධානම අඩිතාලම එක් වුණු ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය අතරතුර ලක්ෂාන් සඳකැන්ට ලබා දුන් උඩ පන්දුවත් දුවද්දී දවා ගැනීමේ අවස්ථාවත් හැරුණු විට එතරම් බලපෑමක් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත් විය. ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිලේ ආරම්භක පිතිකරු යුගලයක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වුණු මෙම සම්බන්ධතාවය ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු සිව්වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

වැඩිම ලකුණු ලාභියාවුණු එවින් ලුවිස් පන්දු 121 කදී ලකුණු 103 ක් රැස් කරන ලද්දේ සිය ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කර ගනිමිනි. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ලුවිස් පිදුම් ලැබීය.

අනෙක් අර්ධ ශතකලාභියා වූ හෝප් ගෙන බැලූ විට එය ශ්‍රී ලංකා පිලට එරෙහිව මෑත කාලීනව පිට පිටම රැස් කරන ලද 5 වැනි අර්ධ ශතකය ලෙසින්ද සටහන් විය. පන්දු 108 කදී ගොඩනැංවුණු හෝප්ගේ ලකුණු 84 ක ඉනිම සඳහා ඔහු හතරේ පහර 6 ක් පමණක් එල්ල කළේය.

42 වැනි පන්දුවාරය වන විට කඩුලු 6 කට ලකුණ් 204 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට වනිඳු හසරංග විසින් වේගවත් ලකුණු 47 හේතුවෙන් 273 ක් වැනි තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව ශ්‍රී ලංකාවට විවර වූවේය. පන්දු 31 කදී වාර්තා වුණු වනිඳුගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 2  ක් ඇතුළත් විය.

49 වැනි පන්දුවාරයේදී හසරංග දැවී ගියද ඔහුගේ ඉනිම ප්‍රධාන කොට අවසන් පන්දුවාර 5 තුළදී ලකුණු 51 ක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත්වූයේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකය. ඉදිරි පෙළ පිතිකරුවන් දැවී යද්දී සිය ප්‍රහාරාත්මක වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දුන් ධනුෂ්ක ශතකයට ලකුණු 4 ක් තිබියදී දැවී ගියේය. පන්දු 96 කදී වාර්තා වුණු ගුණතිලකගේ සුවිශේෂ ඉනිම ශ්‍රී ලංකා ඉනිමේකොඳු නාරටිය බවට පත්වූවේය. එම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගැනීමට ගුණතිලක් සමත්වූවේය.

ලකුණු 50 ට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී ගුණතිලකට එක් වුණු දිනේෂ් චන්දිමාල් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 136 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ගොඩ දැමුවේය. මැද පෙළ ශක්තමත් වුණු චන්දිමාල් ඉනිම සටහන් වූයේ පන්දු 98 කදී ලකුණු 71 ක් වශයෙනි.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

USD United States (US) dollar