slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2021
දිමුත් කරුණාරත්න 12 වැනි ශතකය ලබයි

sinhala editor

Chamila Karawita reporting from Pallakele

බංග්ලාදේශයට එරෙහිව මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (29 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි සැසියේදීත් කඩුලු ආරක්ෂා කරගත් නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න තේ පානය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කිසිවකු නොදැවී ලකුණු 188 ක් දක්වා ඉහළ දැමූහ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයක් පිට පිටම තෙවැනි වතාවටත් ලකුණු 100 ඉක්මවා ලබා ගත් ‍පළමු අවස්ථාව වශයෙන් මෙම සම්බන්ධතාවය වාර්තා පොත් අතරට එක් වනු ඇත. මෙම තරගයේ රැස් කරන ලද සම්බන්ධතාවයට පෙර ඔවුන් පළමු තරගයේදී ලකුණු 114 ක් සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට පැවැති අවසන් ටෙස්ට් තරගයේ අවසන් ඉනිමේදී ලකුණු 101 ක් වශයෙන් ලකුණු 100 කඩඉම ඉක්මවාලීමට සමත්වූහ.

පළමු සැසියට වඩා දෙවැනි සැසියේදී ලකුණු ලබා ගැනීම ඉක්මන්  කළ දිමුත් – ළහිරු සුසංයෝගය යවන ලද පන්දුවාර 31 දී ලකුණු 122 ක් එක් කළහ. ඒ අතරතුරදී මෙම සම්බන්ධතාවය බිඳ හෙළීමට බංග්ලාදේශ කණ්ඩායම නොයෙකුත් උත්සාහ දැරූ නමුත් ඒ සියල්ලන්ගෙන්ම වමත් පිතිකරුවන් දෙදෙනා ආරක්ෂා වීමට වග බලා ගත්හ.

මොවුන් දෙදෙනාගේ පිතිහරඹය හේතුවෙන් කිසිවක් කරගත නොහැකි වූ බංග්ලාදේශ නායකයා ආක්‍රමණශීලීව පන්දු රකින්නන් යොදවමින් ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු කිරීමට උත්සාහ ගත්තේය. එහෙත් හොඳ හැටි තණතීරුවේ පදම්ව සිටි පිතිකරුවන් සියුම් වූ හිදැස් අතරින් පන්දුව හතරේ සීමාවට යවන ලද්දේ මනරම් ඩ්‍රයිව් පහර කීපයක්ම එල්ල කරමිනි.

මුහුණ දුන් 165 වැනි පන්දුවේදී කරුණාරත්න සිය 12 වැනි ටෙස්ට් ශතකය සපුරා ගත්තේ හතරේ පහර 13 කින්ද තම ඉනිම සරසා ගනිමිනි. ඒ සමඟම කණ්ඩායමේ සිටින වැඩිම ශතක ලාභීන් වන ශතක 11 රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාවම පසු කිරීමට කරුණාරත්න අද සමත්විය.

තරගය ඇරැඹි පළමු පැයේදී පන්දුවේ දෝලනය දෙපසටම පැවැතිය නමුත් ඊට එරෙහිව සිය පිති ආරක්ෂා කරගත් වමත් ආරම්භක පිතිකරුවන් යුගලය දිවා ආහාරය තෙක්ම කඩුලු ආරක්ෂා කරගත්හ. ඉනිම ආරම්භයේදී ලකුණු ලබා ගැනීමට වඩා පන්දුවේ ස්වභාවය තේරුම් ගැනීම සඳහා වැඩි කාලයක් මිඩංගු කළ මොවුන් දෙපළ, දිවා ආහාරයට මිනිත්තු 45 කට පමණ පෙර සිට සුපුරුදු පිති ප්‍රහාරය දියත් කළහ. දිමුත්ට අනගි සහායක් ලබා දුන් ළහිරු තිරිමාන්න 11 වැනි අර්ධ ශතකය වාර්තා කරගෙන සිටියේය. මෙම අර්ධ ශතකය තිරිමාන්න අවසන් ඉනිම 6 තුළ රැස් කරගන්නා 5 වැන්න බවට පත්විය.

දිවා ආහාරය අතර වූ කාල සීමාවේදී වූ සුවිශේෂීම සිදුවීම වූයේ දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කර යෑමය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කරන ලද 10 වැනි පිතිකරුවා බවට පත්ව සිටින දිමුත් 2021 වසරේදී ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලද පිතිකරුවන් අතර සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔහුගේ සහායක ළහිරු තිරිමාන්න එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

තේ පානය වන විට දිමුත් කරුණාරත්න ලකුණු 106 ක්ද ළහිරු තිරිමාන්න ලකුණු 80 ක්ද ලබා සිටියහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 58 කදී කිසිවකු නොදැවී ලකුණු 188 යි – (දිමුත්කරුණාරත්න 106*, ළහිරු තිරිමාන්න 80*)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee