slc
logo
Home   |    News
අප්‍රේල් 21, 2021
බංග්ලාදේශ පිතිකරුවෝ අභියෝගය ජය ගනිති

sinhala editor

Chamila Karawita reporting from Pallakele

වේග පන්දු යවන්නන්ට උචිත වන පරිදි තණතීරුව සකස් කරමින් බංග්ලාදේශ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට සැලසුම් සැකසුවද කිසිදු කලබලයකින් තොරව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නිමා කර දමනා විට ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 302 ක් වශයෙන් ප්‍රබල ස්ථාවරත්වයකට රැගෙන ඒමට සමත්වී සිටියහ.

වේග පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දක්වනු ලබන දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අවතීර්ණ වුවද බලාපොරොත්තු වුණු තරම් සේවයක් ලබා දීමට ඔවුහු අසමත් වූහ. යම්තාක් දුරට සාර්ථක වූයේ නම් ඒ කඩුලු 2 ක් දවා ගත් විශ්ව ප්‍රනාන්දු පමණි.

ඉතාමත් සුභවාදී අයුරින් පන්දුවට පහර එල්ල කළ බංග්ලාදේශ පිතිකරුවෝ දිනය අවසනදී පන්දුවාරයකට 3.5 කට ආසන්න (3.35) ක දළ ලකුණු වේගයක් රඳවා තබා ගත්තේ අපේක්ෂිත තරම් සහයෝගයක් තණතීරුවෙන් නොලැබී යෑම හේතුවෙනි.

බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වුණු ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ශ්‍රී ලංකාවට එරෙහිව සිය පෞද්ගලික හොඳම ඉනිම වාර්තා කරමින් බංග්ලාදේශ ලකුණු පුවරුව පෝෂණය කරද්දී තවමත් 22 හැවිරිදි වියේ පසුවන නජ්මුල් හොසේන් දිනය අවසන් වීමට පෙර තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කර ගැනීමට සමත්වූවේය.

මුහුණ දුන් 239 වැනි පන්දුවේදී ශතකය සපුරාගත් වමත් පිතිකරුවා දිනය අවසන් වන විට ලකුණු 126ක් රැස් කරගෙන සිටියේ පන්දු 288 කට මුහුණ දෙමිනි. කිසිම කලබලයක් නොපෙන්වූ නජ්මුල් මිනිත්තු 382 ක් පුරා ඇදී ගිය තම ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් සිය ඉනිම වර්ණවත් කරගත්තේය. මෙතෙක් එල්ල කරන ලද එකම හයේ පහර ධනංජය ද සිල්වාගේ පන්දුවකට එල්ල කළ නජ්මුල් ඔහුගේ පන්දුවකටම දවා ගැනීම සඳහා කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙත ලබා දුන්නේය. පිත්තේ දාරයේ වැදී කඩුල්ල පිටුපසට ඇදී ගිය පහසු උඩ පන්දුව දික්වැල්ල රැක ගැනීමට සමත්වූයේ නම් නජ්මුල්ගේ ඉනිම ලකුණු 28 දී නිමාවට පත් වනු ඇත.

දෙවැනි පන්දුවාරයේදීම ආරම්භක පිතිකරු යසීෆ් හසන් ලකුණු නොලබා දැවී යෑම නිසා අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නජ්මුල් හොසේන්, සෙමෙන් සෙමෙන් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමේ කාර්යයේ නිරත විය. දිවා ආහාරය සඳයා යවන ලද පන්දුවාර 26 දී ඉක්බාල් සමඟ එක්වුණු නජ්මුල් ලකුණු 94 ක සම්බන්ධතාවයක් පවත්වමින් දිවා භෝජනයේදී තරගය නිමා කරන විට ලකුණු පුවරුව කඩුල්ලකට ලකුණු 106 ක් දක්වා ඉහළ දැමූහ.

එම සම්බන්ධතාවයේදී නජ්මුල්ට වඩා ස්ථාවරව පන්දුවට පහර දුන් ඉක්බාල් ලකුණු 65 ක් රැස් කරමින් තම ටෙස්ට් තරග දිවියේ 29 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. දිවා ආරයෙන් පසුවද ඉතා හොඳින් පන්දුවට පහර දුන් මෙම පිතිකරුවන් යුගලය අතරින් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 90 සීමාවට ඉක්බාල් අවතීර්ණ වුවද ඊට පන්දු 2 කට පසු විශ්වගේ ගොදුරක් ලෙසින් දැවී ගියේ 10 වැනි ටෙස්ට් ශතකය පෙනි පෙනි තිබියදීය.

අනතුරුව පිටියට පිවිසි නායක මොමිනුල් හක්ද සිය 10 වැනි ටෙස්ට් අර්ධය සම්පූර්ණ කර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 80 අවසන් වත්ම නව පන්දුව ලබා ගත්තද තරගයේ අවසානය වන තෙක්ම ලකුණු ලබා ගැනීමට වඩා කඩුලු ආරක්ෂා කර ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ මුල් තැන දුන්හ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar