slc
Home   |    News
අප්‍රේල් 30, 2021
ශ්‍රී ලංකාවට කඩුලු 3 ක් අහිමි වෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallakele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය තනිකරම තමන්ගේ දිනයක් කරගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුවත් දෙවැනි දිනය වන අද (30 දා) දිනයේ දිවා ආහාරයට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් දවා ගනිමින් දැඩි පීඩනයක් එල්ල කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වී සිටියහ. දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව  කඩුලු4 කට ලකුණු 334 ක් ලෙසින් සටහන් විය.

කඩුලු දවා ගැනීමට අමතරව දිවා ආහාරය වන තෙක් ක්‍රියාත්මක පන්දුවාර 26 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනීම සඳහා බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් අවස්ථාව උදා කර දුන්නේ ලකුණු 43 ක් පමණි. ඉන් දිනයේ යවන ලද පළමු පන්දුවාර 14 තුළදීම ප්‍රතිවාදී පන්දු යවන්නෝ ලබා දුන්නේ ලකුණු 22 ක් පමණි.  ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීම පිළිබඳව දොසක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට නැගිය නොහැක්කේ පළමු සැසියේදී බංග්ලාදේශ පන්දු යවන්ගේ දෙපසටම වූ දෝලනය සමඟ ඉතාම නිවැරදි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම මතය.

බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් වේග පන්දු යවන ටස්කින් අහමඩ් පළමු සැසියේ මූලිකයා වූවේය. පළමු කඩුල්ල වශයෙන් ළහිරු තිරිමාන්නව පිටියෙන් ඉවත් කරන විට පෙර දිනයේ ලබා සිටි ලකුණු සංඛ්‍යාවට වඩා ඔහු රැස් කරගැනීමට සමත්ව සිටියේ ලකුණු 09 ක් පමණි. පුරා පැය හතහමාරකට අධික කාලයක් (මිනිත්තු 445 ක්) පුරා කඩුල්ලේ රැඳී සිටි තිරිමාන්න ලකුණු 140 කට දැවී ගියේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දීර්ඝතම ඉනිම ලෙසින් සටහන් විය. පන්දු 298 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ඉන් 15 ක් හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට සමත්වූවේය.

අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ටද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ටස්කින් අහමඩ් ඉඩ ලබා දුන්නේ නැත. යවන ලද තෙවැනි පන්දුව, මැතිව්ස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී පන්දුව උඩ පන්දුවක් ලෙස කඩුලු රකින ලිටන් දාස් වෙත ඇදී ගියද ඒ සඳහා කිසිවකුත් ඉල්ලීමක් නොකිරීමේ වාසනාව මැතිව්ස්ට උදාවිය. එවන් වාසනාවක් මැතිව්ස් සතු වුවත් ඔහුගේ කඩුල්ල දවා ගැනීමට බංග්ලාදේශ පිලට වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවීය. මන්ද යත් ඊට පන්දු 12 කට පසු ටස්කින්ගේ පන්දුවකටම මැතිව්ස් ලිටන් දාස් අතට උඩ පන්දුවක් ලබා දුන් බැවිනි.

පළමු තරගයේදී ශතකයක් ලද ධනංජය ද සිල්වාව තයිජුල් ඉස්ලාම් විසින් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට දිනයේ තෙවැනි කඩුල්ලත් අහිමි විය. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට ස්ලිප් ස්ථානනයේ පන්දු රැකි නජ්මුල් හොසේන් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ධනංජයගේ ඉනිම ලකුණු 02 කට සීමා විය.

දිවා ආහාරය වන විටත් සිය සිව්වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන සිටි ඕෂද ප්‍රනාන්දු ලකුණු 65 ක් ද පැතුම් නිස්සංක ලකුණු නොලබාද කඩුල්ලේ රැඳී සිටියහ.ශ්‍රී ලංකාව පළමු ඉනිම කඩුලු 4 ට ලකුණු 334 යි – (ළහිරු තිරිමාන්න 140, දිමුත් කරුණාරත්න 118, ඕෂද ප්‍රනාන්දු 65*, ඇන්ජලෝ මැතිව්ස් 05, ධනංජය ද සිල්වා 02, පැතුම් නිස්සංක 00*, ටස්කින් අහමඩ් 86/1)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest