slc
logo
Home   |    News
මැයි 22, 2021
අලුත් ආරම්භයක අරමුණින් ශ්‍රී ලංකාව හෙට බංග්ලාදේශය හමුවෙයි

sinhala editor

2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීගයේදී අවසන් ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අලුත් ගමනක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් හෙට (23 වැනිදා) ඩකාහිදී බංග්ලාදේශ පිල මුණ ගැසෙනු ඇත. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙසින් පැවැත්වෙන මෙම දිවා/රාත්‍රී තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12.30 ට ආරම්භ වේ.

සුපිරි ලීගයේ ශ්‍රී ලංකාව සහභාගිවුණු පළමු තරගාවලිය බවට පත් වුණු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලිය පරාජයට පත්වීමත් එක් තරගයකදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් වීමට නොහැකි වීමත් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව සෘණ ලකුණු ලබා ගනිමින් එම සටහනේ පහළම ස්ථානයේ පසුවන්නේය.  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම කණ්ඩායම් 7 ක් සුදුසුකම් ලබන බැවින් ඒ සඳහා ප්‍රමාණවත් එක්දින තරගාවලි සංඛ්‍යාවකට (11) සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන තිබේ.

වඩා වැදගත් වන්නේ එක්දින පිලේ නායකත්වයට අලුතින්ම පත් කුසල් පෙරේරා, නවකයින් රැසකගෙන් සමන්විත කණ්ඩායම සමඟින් එම තරගාවලිවලදී දක්ෂතා අතරට පැමිණීමය. හිටපු නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දිනේෂ් චන්දිමාල්ගේ සේවයද අහිමිවී තිබෙන පසුබිමක කුසල් ඇතුළු කණ්ඩායමට පැවැරී තිබෙන්නේ සුළු පටු අභියෝගයක් නොවන බව පැහැදිළි නමුත් සිදුවූ සියලු අතපසුවීම් මඟහරවා ගනිමින් තරග වැදුණහොත් එම අභියෝගය පහසුවෙන්ම ජය ගත හැකි වනු ඇත.

“තරගයකට ක්‍රීඩා කරනවා කියන්නෙත් පීඩනයක්. ඒ වගේමයි කණ්ඩායමක් මෙහෙයවනවා කියන්නෙත් එක්තරා දුරකට පීඩනයක්. ඒ පීඩනයෙදී කොහොමද ක්‍රීඩා කරන්නේ කියන එක අපි ඉගෙන ගන්න ඕන. ඒවගේ තත්ත්ව නිකන් උදා වෙන්නේ නෑ. ක්‍රීඩා කරලම තමයි ඒ පීඩනය කොහොමද හසුරුවගන්නේ කියන එක ඉගෙන ගන්න වෙන්නේ. නැතුව මේ වෙලාවේ මට කියන්න බෑ 100% ක්ම මට කරන්න පුලුවන් කියලා” යැයි නායකත්වයේ වගකීම ඇතුළුව තමන් හමුවේ ඇති දැවැන්ත අභියෝගය පිළිබඳව අද (22 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි කුසල් පෙරේරා, “ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පන්දු රැකීමෙන් ගොඩක් ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා. ඒ ගැන තමයි මගේ ඔලුවෙ ගොඩක්ම විශ්වාසය තියෙන්නේ” යි වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සෑම ක්‍රීඩකයකුම තරුණ ක්‍රීඩකයින් වේ. ඒ අතර වර්තමානයේ හොඳම පන්දු රකින්නන් ලෙසින් නම් දරා සිටින අෂේන් බණ්ඩාර සහ වනිඳු හසරංග යන දෙදෙනාගේ සහයෝගයද කුසල්ට ලැබී තිබේ. මොවුන් දෙදෙනාම හෙට තරගය ඉලක්ක කොට ගෙන පැවැති පුහුණු තරගයේදී  අර්ධ ශතක වාර්තා කරමින් ලකුණු අතරට පැමිණීමටද සමත්වූශ. එහිදී අෂේන් නොදැවී ලකුණු 80 කුත් වනිඳු ලකුණු 79 කුත් ලබා ගැනීම ශ්‍රී ලංකා කඳවුරින් සටහන් සුභ ලකුණකි.

“මැච් ප්‍රැක්ටිස් කියන එක ගොඩක් දුරට හැම වෙලාවමකම වගේ ක්‍රීඩකයින්ට හොඳයි. මොකද අපිට නෙට් එකේ පුහුණුවීම් කරනවාට වඩා තරගයක සෙල්ලම් කරන එක ගොඩක් හොඳයි. පිල් දෙකම බෙදිලා සෙල්ලම් කරපු තරගයක් වුණත් එහි ගොඩක් ලොකු තරගයක් තිබ්බා. පන්දු යැවීම මෙන්ම පන්දු යැවීමත් ඉතා හොඳින් ඒ තරගයේදී තිබ්බා. ඒක නිසා හෙට තරගයට කණ්ඩායම හදන එක ගොඩක් ලේසි වේවි” යැයි පුහුණු තරගයේ ලද පන්නරය පිළිබඳව එක්දින නායකයා අදහස් දැක්වීය.

බංග්ලාදේශය බලා ගොස්ව සිටින 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ ක්‍රීඩකයින් 9 බැගින් බෙදා පවත්වන ලද එම තරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කුසල් XI ‘බී’ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 284 ක් ලබා ගැනීමට සමත්විය. පන්දුවාර 40 කට සීමා වෙමින් පැවැති එම තරගයේ ඉලක්කය හඹා ගිය කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කුසල් XI ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 372 කදී ලකුණු 282 ක් ලබා ගැනීමට සමත්විය.

එම තරගයේදී වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් කිහිප දෙනා අතරට පැමිණීමට නිරෝෂන් දික්වැල්ලට හැකියාවක් ලැබුණද කණ්ඩායමේ සමබරතාවය අනුව හෙට දිනයේදී ඔහුට ස්ථානය අහිමිවීම කණගාටුවට කරුණකි. “හෙට තරගයට සංයුතිය හදනකොට ප්‍රශ්නයක් එනවා. මොකද දික්වැල්ල කියන කෙනා හොඳමට ක්‍රීඩා කරන නිසා. නමුත් කණ්ඩායමේ සමබරතාවය දිහා බලනකොට අපට සමහර තීරණ ගන්න වෙනවා. ඉතිං ඒ අවස්ථාව ඇරෙන්න ඔහු ගොඩක් හොඳට සෙල්ලම් කරලා තියෙනවා. අපිත් බලන්නේ ගොඩක් වෙලාවට ලකුණු අතර ඉන්න කට්ටියට අවස්ථාව ලබාදෙන්න. කණ්ඩායම කවුද කියන එක තවම අපි තීරණය කරා නෑ. ඒත් කළින් කිව්වා වගේ කණ්ඩායම බැලන්ස් කරනකොට සමහර තීරණ අපිට ගන්න වෙනවා” යැයි දික්වැල්ලගේ සහභාගිත්වය පිළිබඳව කුසල්ගේ මතය ඉදිරිපත් කර සිටියේය.

පෙර පරිදි මෙන් නොව එක්දින තරගද මේ වන විට දැඩි තරගකාරීත්වයක් මතුව ඇති තරග අංශයක් වී හමාය. ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 300 සිමාව ඉක්මවා ලකුණු රැස් කර ගත්තද එය ජයග්‍රහණය සඳහා එතරම් විශ්වාසය තැබිය හැකි ලකුණු සංඛ්‍යාවක් නොවනු ඇත. එබැවින් කුසල්ගේ උප නායකයා ලෙසින් කටයුතු කරනු ලබන කුසල් මෙන්ඩිස් මෙන්ම ඉදිරි පෙළින් පන්දුවට පහර දීමට පැමිණන පිතිකරුවන් එය සිහියේ තබා ගනිමින් පන්දුවට පහර දිය යුතු වේ.

ශ්‍රී ලංකා පිලට හෙට දිනයේදී මුණ ගැසෙන ටමිමී ඉක්බාල්ගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ පිලද මෙම තරගාවලියට සහභාගිවන්නේ දෙගිඩියාවෙනි. ඔවුන් අවසන් වරට සහභාගිවුණු එක්දින තරග 10 න් 9 ක්ම පරාජයට පත්වී සිටින අතර අවසන් වතාවට ශ්‍රී ලංකාව සමඟ තරග වැදි ටෙස්ට් තරගාවලියද 0-1 ක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ පරාජය පත්ව සිටීම නිසා මෙම තරගාවලිය ජය ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර සිටියි. ඒ සඳහා ටෙස්ට් තරගාවලියේදී විවේකයක් ලබා දුන් ඔවුන්ගේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ශකීබ් අල් හසන් සහ අත්දැකීම් සහිත මුෂ්ටෆිසූර් රෙහ්මාන්වද කණ්ඩායමට කැඳවමින් තරග වැදීමට සූදානම් සිටියි.

මෙම තරගාවලියට පෙර දෙපිලම එක්දින තරග අංශයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට මුහුණ දුන්නද දෙපිළම තරගාවලි පරාජයට පත්වීම කැපී පෙනෙයි. බංග්ලාදේශ කණ්ඩායමද සුපර් ලීග් තරගාවලිය යටතේ තරග 6 කට සහභාගිවී ඉන් තුනක් ජයග්‍රහණය කරමින් 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.

 ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගාවලියකදී බංග්ලාදේශය 2019 වසරේදී මුණ ගැසුණු අතර එම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ මුණ ගැසී ඇති අවස්ථා 48 න් තරග 39 ක ජය ශ්‍රී ලංකාව ලබා ගනිද්දී තරග 7 ක් පමණක් බංග්ලාදේශය ලබා සිටියි. එමෙන්ම දෙරට අතර එක්දින ඉතිහාසයේ කිසි දිනෙක ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ පිල අසමත්ව සිටීමද කැපී පෙනෙයි. එබැවින් මෙතෙක් අපරාජිතව භාවය රැකගනිමින් තබා තිබෙන ගෞරවය හෙටින් ඇරඹෙන තරගාවලියේදීද රැක ගැනීමේ වගකීමද කුසල් ඇතුළු පිරිවරට පැවැරී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – කුසල් පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා දසුන් ශානක, අෂේන් බණ්ඩාර, වනිඳු හසරංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳැකැන්, චාමික කරුණාරත්න, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු.

බංග්ලාදේශ කණ්ඩායම – ටමීම් ඉක්බාල් (නායක), මහමුදුල්ලා, ටස්කින් අහමඩ්, මොහොමඩ් මිතුන්, ශකීබ් අල් හසන්, සෞම්‍ය සර්කාර්, මොසදික් හොසේන්, ලිටන් දාස්, මුෂ්ෆිකර් රහීම්, අෆීෆ් හොසේන්, මෙහෙද් හසන්, මොහෛාමඩ් සෆියුඩීන්, මුස්ටෆිසුර් රෙහ්මාන්. මෙහෙඩි හසන්, ෂොරිෆුල් ඉස්ලාම්.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar