slc
logo
Home   |    News
මැයි 1, 2021
ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව ලකුණු 242 කින් පෙරට

sinhala editor

Chamila Karawita reporting from Pallakele

තම පළමු ටෙස්ට් තරගයේදීම වාර්තාගත පන්දු යැවීමක නිරත වුණු ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92 ක් ඇතුළත බංග්ලාදේශ පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීම නිසා බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 242 ක වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (මැයි 01දා) හැකියාව ලැබිණ. පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 493 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 251 කදී නිමාවට පත්විය.

කඩුලු 13 ක් බිඳ වැටුණු තෙවැනි දිනයේදී පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ පිලට ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුවිය. එහෙත් පන්දු යවන්නන්ට විවේකයක් ලබා දීමත් සිව්වැනි ඉනිමේ හඹා යෑම අවධානම් තත්ත්වයක් නිර්මාණය කරන්නක් වීම නිසා ශ්‍රී ලංකාව යළිත් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව දිනය අවසන් වීම සඳහා යැවුණු පන්දුවාර 7 දී පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 17 ක් ලබා ගනිද්දී කඩුලු 2 ක් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ ශ්‍රී ලංකාව මේ වන විටත් ලකුණු 259 කින් පෙරමුණ ගෙන සිටින්නේ තරගයේ තවත් දින 2 ක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදීය.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන ප්‍රවීන් අද දිනයේදී ටෙස්ට් භෞතීස්මය ලද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කීවේය. ප්‍රවීන් විසින් අද බිඳ හෙළන ලද්දේ 1999 වසරේදී පාකිස්තානයට එරෙහිව මංගල තරගයට සහභාගිවෙමින් ලකුණු 179 කට කඩුලු 6 ක් දවා ගනිමින් උපුල් චන්දන තබා තිබූ වාර්තාවය.

මංගල තරගයට ක්‍රීඩා කළද පළ පුරුදු පන්දු යවන්නකුගේ දක්ෂතා විදහා පාමින් පන්දු යැවී ප්‍රවීන් ප්‍රථමයෙන්ම සායිෆ් හසන්ගේ කඩුල්ල දවා ගනිමින් තම කඩුලු දඩයම ආරම්භ කළේය. අනතුරුව ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම පිතිකරුවන් යුගලක් වුණු ටමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුලුද දවාගත් වමත් දඟ පන්දු යවන්නා තමන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් අනාගතයට ඉතා හොද ආයෝජනයක් බව පෙන්නුම් කළේය.

තේ පානයට පෙර කඩුලු 3 කට ලකුණු 214 ක් වශයෙන් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් කඩුලු 7 ම ලකුණු 37 ක් තුළදී දවා ගැනීමට ප්‍රවීන් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.එහිදී පන්දු 24 ක් ඇතුළත බංග්ලාදේශ පිලේ ප්‍රධානම පිතිකරුවන් වුණු මුෂ්ෆිකර් රහීම් (40), මොමිනුල් හක් (49) සහ ලිටන් දාස් (8) දවා ගනීමට ප්‍රවීන් සහ මෙන්ඩිස් සමත්විය. නායක මොමිනුල්ව කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකර ගැනීමට මෙන්ඩිස් සමත්වද්දී ලිටන් දාස්ගේ කඩුල්ලත් පසුව මෙහෙදි හසන්ගේ කඩුල්ලත් දවා ගනිමින් පළමු පන්දු යැවීමේදීම කඩුලු 5 සම්පූර්ණ කරගත්තේය.

 බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ක්‍රියාත්මක පන්දුවාර 83 න් පන්දුවාර 63 ක්ම ප්‍රවීන් සහ රමේෂ් මෙන්ඩිස් යැවීමද කැපී පෙනෙයි. ප්‍රවීන්ට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 86 කට කඩුලු 2 ක්ද සුරංග ලක්මාල් ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත්හ.

දුර්වල පන්දු ලැබෙන තෙක් බලා සිටිමින් තේ පානය වන විට තම කඩුල්ල ආරක්ෂා කරගැනීමට නායක මොමිනුල් හක් සමත්වූයේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් ලබා දුන් උඩ පන්දු අත හැර දැමීමේ වාසනාව පෙරදැරිවය. තේ පානය වන විට මොමිනුල් ලකුණු 47 ක් ලබා සිටියේය.

තේ පානයට මිනිත්තු කීපයකට පෙර ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ රහීම් දැවී යන විට මොමිනුල් සමඟ ලකුණු 63 ක ලකුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට රහීම් පන්දු 63 කට මුහුණ දෙමින් ලකුණු 40 ක් ලබා සිටියේය. පන්දුවට පැමිණ එක් ලකුණක් ලබා සිටියදී ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රැකි රමේෂ් මෙන්ඩිස් අතින්ද ලකුණු 11 ක් ලබා සිටියදී මිඩ් විකට්හි පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න අතින්ද ගිලිහී යෑමේ වාසනාව මොමිනුල් සතුවිය.

ඉනිමේ පළමු වතාවට වමත් පිතිකරුවන්ට එරෙහිව කඩුල්ල වටා යමින් යොමු කරන ලද පළමු පන්දුවටම ටමීම් දැවී යෑම කැපී පෙනුණි. ඇඟ හරහා වන පරිදි ඇදී ගිය පන්දුව ටමීම්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් ස්ථානයේ සිටි තිරිමාන්නගේ ඈත් අතර සැඟ විණ. දැවී යන විටත් ටමීම් 90 සීමාව හෙවත් ලකුණු 92 ක් ලබා සිටියේ පන්දු 150 කට මුහුණ දෙමිනි. ලකුණු 90 සීමාව පැමිණි විගස කඩුල්ල ආසන්නයේ පන්දු රැකි ඕෂද වෙතට දවා ගැනීම සඳහා අවස්ථා 2 ක් ලබා දුන්නද ඉන් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට හේ අසමත්විය.

තෙවැනි දිනය ආරම්භයේදී යළිත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටීමත් සමඟ ඉනිම හමාර කළේය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල අද දිනයේදී තවත් ලකුණු 13 ක් තම ඉනිමට එකතු කර ගත්තේ 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 111 ක් දක්වා ඉහළ දමා ගනිමිනි. ආරම්භයේ සිටම තරමක් වේගයෙන් ලකුණු රැස් කිරීමට උනන්දුවක් දැක්වූ දික්වැල්ල මෙහෙදි හසන්ට එරෙහිව එල්ල කරන ලද හයේ පහරද සමඟ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 77 දක්වා ඉහළ දමා ගත්තේය. හතරේ පහර 8 ක්ද ඇතුළත් දික්වැල්ල මුහුණ දී තිබුණේ පන්දු 72 කට පමණි. හෙට තරගයේ සිව්වැනි දිනයයි.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee