slc
logo
Home   |    News
මැයි 1, 2021
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ පීඩනය එල්ල කරති

sinhala editor

Chamila Karawita reporting from Pallakele

කඩුලු 7 කට ලකුණු 493 ක්ව තිබියදී ඉනිම අත්හිටවූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය තෙක් යවන ලද පන්දුවාර 27 ඇතුළතදී දී බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනකු දවා ගනිමින් තරගයට සාර්ථක ලෙස අවතීර්ණ වී සිටියි. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී පිට පිටම දෙවැනි වරටත් පන්දුවෙන් පහර දීමෙන් වැළකී සිටීමට නම් තවත් කඩුලු 8 ක් ඇතුළත බංග්ලාදේශ පිල ලකුණු 194 ක් ලබා ගත යුතු වේ.

බංග්ලාදේශ පිල වෙනුවෙන් නැවතත් සාර්ථක වුණු ටමීම් ඉක්බාල් පන්දු 96 කට මුහුණ දෙමින් ලකුණු 70 ක් ලබා ගනිමින් දිවා විවේකය වන විටත් කඩුල්ලේ රැඳී සිටියේය. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ කැපී පෙනෙන පිතිහරඹයක නියැළෙමින් රැස් කරන ලද අර්ධ ශතකය ටමීම් තරගාවලියේ පිට පිටම ලද තෙවැන්න විය.

දැවී ගිය කඩුලු 2 පිළිවෙළින් ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා අතර බෙදී ගියේය. දිවා ආහාරයට ප්‍රථම දෙදෙනා යවන ලද අවසන් පන්දුවාර වලදී එම කඩුලු 2 දවා ගැනීම කැපී පෙනිණ. බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් සහ තම ටෙස්ට් තරග දිවියේ මංගල කඩුල්ල ලෙසින් සයිෆ් හසන්ව දවා ගත්තේ ප්‍රවීන් ජයවික්‍රම විසිනි. තියුණුව දඟ කැවීමක් දැක ගත හැකි පල්ලකැලේ තණතීරුවේදී ස්ලිප් සහ ගලී ස්ථානයේ පන්දු රකිනන් දෙදෙනකු යොදවමින් පන්දු යැවූ ජයවික්‍රමගේ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී ගලී ස්ථානය වෙත ඇදී ගිය උඩ පන්දුව ධනංජය ද සිල්වා රැක ගැනීම නිසා හසන්ගේ ඉනිම ලකුණු 25 දී නිමාවට පත්විය.

අනතුරුව පිටියට පිවිසි නජ්මුල් හොසේන්ව ලකුණු ලබා ගැනීමට මත්තෙන් රමේෂ් මෙන්ඩිස් දවා ගත්තේය. සයිෆ්ගේ පරිදිම නජ්මුල් දැවී ගියේ දිවා ආහාරය සඳහා යැවීමට නියමිතව තිබූ අවසන් පන්දුවේදීය.

ඉනිම ආරම්භයේ පන්දු යැවූ සුරංග ලක්මාල් සහ විශ්ව ප්‍රනාන්දු හමුවේ කඩුලු ආරක්ෂා කරගත් බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 එක් කළේ තෝරා බේරාගත් පන්දුවලට පමණක් පහර එල්ල කරමිනි. දුරවල පන්දුවක් දුටු විගස නොපැකිළිවම ඔවුහු පහර කරා ගිය. ශ්‍රී ලංකා නායකයා විසින් ඇන්ජලෝ මැතිව්ස්වද පන්දු යැවීම සඳහා කැඳවන ලද නමුත් පළමු කඩුල්ලේ සම්බන්ධතාවයට අභියෝගයක් කිරීමට ඔහුටද නොහැකිවිය.

තෙවැනි දිනය ආරම්භයේදී යළිත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටීමත් සමඟ ඉනිම හමාර කළේය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල අද දිනයේදී තවත් ලකුණු 13 ක් තම ඉනිමට එකතු කර ගත්තේ 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 111 ක් දක්වා ඉහළ දමා ගනිමිනි. ආරම්භයේ සිටම තරමක් වේගයෙන් ලකුණු රැස් කිරීමට උනන්දුවක් දැක්වූ දික්වැල්ල මෙහෙදි හසන්ට එරෙහිව එල්ල කරන ලද හයේ පහරද සමඟ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 77 දක්වා ඉහළ දමා ගත්තේය. හතරේ පහර 8 ක්ද ඇතුළත් දික්වැල්ල මුහුණ දී තිබුණේ පන්දු 72 කට පමණි.

තවමත් ටෙස්ට් ශතකයක පහස විඳ නැති වමත් පිතිකරුවාට අද දිනයේදී ද ශතකයක් ලබා ගැනීමේ හොඳම අවස්ථාවක් පැවැතියත් ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීම නිසා එම බලාපොරොත්තුව තවත් ඈතට වන්නට විය.

ටස්කින් අහමඩ්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර ඩීප් ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි මුෂ්ෆිකර් රහීම් රැක ගැනීම නිසා රමේෂ් මෙන්ඩිස් ලකුණු 33 කට කඩුල්ල අහිමි කර ගත්තේය. එය ටස්කින්ගේ සිව්වැනි කඩුල්ල වශයෙන් සටහන් වද්දී සෙසු පන්දු යවන්නන් වූ ශොරිෆුල්, තයිජුල් සහ මෙහෙදි හසන් කඩුල්ල බැගින් දවා ගත්හ. පළමු දිනයේදී ඉතාම විශ්වාසවන්තව පිති හැසිරවූ ශ්‍රී ලංකා පිල දිනය අවසනදී එක් කඩුල්ලක් දැවී ලකුණු 291 ක් ලබා ගනිමින් පළමු ඉනිමට සාර්ථක අඩිතාලමක් එක් කරගත්තේය. එකිනෙකාට වුණු වඩාත් විශ්වාසනීයත්වයකින් පන්දුවට පහර දුන් නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න වාර්තා ගත ලකුණු 209 ක සම්බන්ධතාවයකින් ශ්‍රී ලංකා ඉනිම හැඩ කළහ. එහිදී වැඩිම ලකුණු ලාභියා වෙමින් තිරිමාන්න ලකුණු 140 ක්ද කරුණාරත්න ලකුණු 118 ක්ද ලබා ගත්හ. දෙවැනි දිනයේදී යළිත් තරගයට අවතීර්ණ වුණු බංග්ලාදේශ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 69 ක් තුළදී දවා ගනිමින් කිසියම් පීඩනයක් එල්ල කිරීමට සමත්වුවත් දික්වැල්ල සහ මෙන්ඩිස් දෙපළගේ නොබිඳුණු සම්බන්ධතාවය නිසා තෙවැනි දිනයේ ආරම්භයත්, ශ්‍රී ලංකාවේ පිතිහරඹය සඳහා වෙන්විණ.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee