slc
logo
Home   |    News
ජූනි 28, 2021
වැටුණු තැනින් නැගිටීමේ බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා පිල එක්දින සටන අරඹයි

sinhala editor

පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීමට අපොහොසත්වීම මත එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී ලද දරුණු පරාජයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ශ්‍රී ලංකාව යළිත් ලෝක ශූර එංගලන්ත කණ්ඩායම යළිත් හෙට (28 දා) දිනයේදී මුණ ගැසෙනු ඇත. ඒ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමටය.

ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයට කුසල් ජනිත් ප්‍රමුඛ ශ්‍රී ලංකා නඩයට ක්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ කණ්ඩායම සතු ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් තිදෙනෙකු වන උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ සහාය නැතිවය. ක්‍රීඩකයින් රැඳී සිටින ජෛව පරිසරයේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීම නිසා ඔවුන් තවදුරටත් කණ්ඩායම සමඟ රැඳී සිටීමේ අවස්ථාව ඔවුන්ට අහිමිව තිබේ.

තරගය පිළිබඳව වන මාධ්‍ය හමුව පවත්වන විටත් ක්‍රීඩකයින්ට එරෙහිව ගනු ලබන තීරණය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන නොතිබූ බැවින් මේ පිළිබඳව මාධ්‍යවේදීන් විසින් එක්දින නායකයාගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

“මම දන්නේ නෑ බෝඩ් එක කොයි වගේ තීරණයක් ගනියිද යන්න කියා. බයෝ බබල් එකක ඉන්න නිසා අපිට ආයි ලංකාවෙන් ක්‍රීඩකයින් ගෙන්වන්න බෑ. ඇවිල්ලා ඉන්න තරුණ ක්‍රීඩකමේ ඇවිල්ලා තියෙන්නේත් යං කට්ටිය” යැයි අද (28 දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසූ කුසල් පෙරේරා, “සංචිතයේ ඉන්න අනිත් අය බැලුවොත් අත්දැකීම් ගොඩක් අඩුයි. නමුත් මේ වෙලාවෙ වෙලා තියෙන දේවලුත් එක්ක මට අලුත්ම ක්‍රීඩකයොත් එක්ක ලෝකෙ ඉන්න හොඳම කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරන්න ගියාම ඒක ලේසි වෙන්නෙත් නෑ. එතන ලොකු හිදැසක් තියෙනවා. කොහොම නමුත් අපිට හැකි පමණින් ක්‍රීඩා කරලා තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

සදම්ප්ටන්හි පැවැති තෙවැනි විස්සයි-20 තරයෙන් පසු හෙට තරගයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදී ඩර්හෑම් ප්‍රාන්තය බලා ගමන් කරනු ලැබීය. ඩර්හැම් ප්‍රාන්තයට පැමිණි දින රාත්‍රියේදී කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එහි වීදියක රාත්‍රී කාලයේදී සැරිසරන අයුරු ක්‍රීඩා ලෝලියකු විසින් වීඩියෝ කරමින් මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ මෙකී ආන්දෝලනාත්මක තත්ත්වය නිර්මාණය විය.

මොවුන් තිදෙනාට අමතරව අවිෂ්ක ප්‍රනාන්දුද ආබාධයක් හේතුවෙන් හෙට තරගයට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතියි.

“අවිෂ්කගේ තත්ත්වය එන්න එන්නම සුව අතට පත්වෙලා තියෙනවා. ඒත් භෞත චිකිත්සකවරයා කියනකම් එයාව මේ තරගයට ක්‍රීඩා කරනවද කියන එක තවම කියන්න බෑ” යැයි අවිෂ්කගේ සහභාගිත්වය පිළිබඳව කුසල් සඳහන් කර සිටියේය.

විස්සයි-20 තරගාවලියේ ලද පරාජය කිසිසේත් අනුමත කළ නොහැකි බව සඳහන් කරන එක්දින නායකයා ඒ පිළිබඳව තමන් දැඩි කණගාටුවට පත් වන බවද සඳහන් කර සිටියේය.

“අපි පරාද වුණු විදිය කිසි විටෙකත් අනුමත කරන්න බෑ. නමුත් අපි ඒ පරාජයෙන් හොඳ දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඔවුන්ට එරෙහිව හොඳ තරගයක් ලබා දෙන්නේ කොහොමද කියන එක අපි ගොඩක් අවධානය යොමු කළා. විශේෂයෙන් එයාලා පන්දුවට පහර දෙනකොට,පන්දු යවන වෙලාවෙදි සහ පන්දු රැකීමෙදිත් අපිට වඩා ලොකු වෙනසක් තියෙනවා දැක්කා. එතැනදි ඔවුන්ට වඩා අපේ තරගකාරීත්වය නැති වෙලා තියෙනවා. අපි බලන්න ඕන ඔවුන්ට එරෙහිව හොඳ තරයක් ලබා දෙන්න” යනුවෙන් කුසල් පවසයි.

නායකත්වයට පත්වීමෙන් පසු ක්‍රීඩා කරන ලද තරග 6 න් බංග්ලාදේශයට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී ලද ශතකය හැරුණු කොට පිතිකරණයෙන් කැපී පෙනීමට කුසල් අසමත්විය. පිතිකරුවකු වශයෙන් දක්ෂතා දැක්වීමට නායකත්වය ගැටළුවක්ද යන්න මෙහිදී කුසල්ගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

“දක්ෂතා වලදි මට හරියටම මේ කාලෙදි මෙහෙම කරනවා කියලා කියන්න බැහැ  මොකද මම නායකත්වය දැරුවත් වෙන කවුරු හරි නායකත්වය දැරුවත් එක රැයකින් දැන් තියෙන තත්ත්වය වෙනස් කරන්න බැරි නිසා. අපි කාලයක් තිස්සේම පරදින ප්‍රමාණය වැඩි වුණා. ගොඩක් වෙලාවට ක්‍රීඩකයින්ගේ දක්ෂතා උඩට ගන්න අපි උත්සාහ කරන්න ඕන”.

“‍තරගාවලිය පැරදුණේ පිතිකරණයෙන් දුර්වල වුණු නිසා. මෙතෙක් ක්‍රීඩා කරපු තරග අතරින් ධනාත්මක පැත්ත බැලුවොත් එකම දේ අපේ පන්දු යැවීම සහ පන්දු රැකීම. බංග්ලාදේශ තරගාවලියේ ඉඳන් ඒ දේවල් හොඳට තිබුණා. නමුත් බැටිං නැතුව අපිට තරග දින්නන බෑ. තරගාවලි දිනන්නත් බෑ. දිගටම ලකුණු අතරට එන්න බැරි වුණු නිසා පිතිකරුවන් කියන අය වගකීම අරගෙන කටයුතු කරන්න ඕන කියන එක අපි කතා කළා. මෙහෙ තත්ත්වයන් වලට හුරුවෙන එකත් ලේසි නෑ. නමුත් එය නිදහසට කරුණක් නොවෙයි. අපි ලේසි අවස්ථාවලදි වගේම අමාරු අවස්ථාවලදීත් සෙල්ලම් කරන්න ක්‍රමයක් හොයා ගත යුතුයි” යැයි කුසල් පෙරේරා සඳහන් කර සිටියි.

“පුලුවන් තරම් උත්සාහ කරන්න ඕන හරි දේ කරන්න. අපි වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න ඕන අපිමයි. මොකද මෙතැන වෙන කට්ටියකට භාර දීලා ගොඩ එනකම් බලන් ඉන්න බෑ අපිම තමයි නැගිටින්න ඕන. එතකොට පුලුවන් තරම් නිර්භීතව ක්‍රීඩා කරන්න ඕන. ගොඩක් දෙනෙක්ට පේන දේ තමයි අපි කිසියම් තැනක හිර වෙලා ඉන්නවා කියන ඒක. ඒ දේයින් ගොඩ එන්න අපිමයි ක්‍රීඩා කළ යුත්තේ’ යැයි කුසල් වැටී සිටින තත්ත්වය පිළිබඳව කරුණු ගෙන හැර පෑවේය.  

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest